Local

අපේ කෞතුකාගාරයට අදට අවුරුදු 140 යි

මානව ශිෂ්ටාචාරය පිළිබඳ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා අපට ඒවා යම්තාක් දුරකට හෝ යථාරූපී ලෙස දැකගත හැකි වන්නේ ගවේෂණශීලී මිනිසුන් අනාවරණය කරගත් ඓතිහාසික මූලාශ්‍ර තුළිනි. බුද්ධිමය පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා තුළ සහජයෙන්ම පිහිටියා වූ ගවේෂණය හා සංරක්ෂණය කිරීමේ පුරුද්ද නිසා ‘කෞතුකාගාර’ සංකල්පය ලෝකයට බිහිවන්නට ඇත. බටහිර පුරාවිද්‍යාඥයන්ගේ අදහස කෙබන්දක් වුවද ලංකාවේ ද අෑත අතීතයේ පවා කෞතුකාගාර පැවැති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතියි. වසර දෙදහස් පන්සියයකටත් වඩා අදීන ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ඓතිහාසික ශ්‍රී විභූතිය ලෝකයට කියාපාන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයට වසර එකසිය හතළිහක් පිරීම නිමිත්තෙනි මේ සටහන.

කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ජාතික කෞතුකාගාරය අදින් වසර එකසිය හතළිහකට පෙර එනම් 1877 ජනවාරි මස 01 වැනි දින මහජන ප්‍රදර්ශනයට විවෘත විය. එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ශ්‍රීමත් විලියම් ගේ‍රගරි මහතාගේ යෝජනාවකට අනුව ස්ථාපිත කළ ජාතික කෞතුකාගාරය අදට ද මෙරට ඉතිහාසය හා ජන ජීවිතය පිළිබිඹු කරන අද්විතීය ජාතික සම්පතකි. වර්ෂ 1815දී කන්ද උඩරට ගිවිසුමෙන් මුළු මහත් දිවයිනම ඉංගී්‍රසි ජාතිකයෝ සිය ආධිපත්‍යයට නතු කරගත්හ. අනතුරුව බි්‍රතාන්‍යයේ සිට මෙරටට පැමිණි පාලකයන් මෙන්ම සිවිල් නිලධාරීන්ද ලංකාවේ ඉතිහාසය,  සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දැක්වූ බව මෙකල ශේෂව ඇති ඇතැම් පතපොත තුළින් පෙනේ. ගේ‍රගරි ආණ්ඩුකාරයාද කෞතුක භාණ්ඩ කෙරෙහි ඉමහත් රුචිකත්වයක් දැක්වූ අයෙකි. ඉතිහාසය සහ කෞතුක භාණ්ඩ කෙරෙහි එතුමා දැක්වූ පෞද්ගලික රුචිකත්වය පසු කලෙක ජාතික කෞතුකාගාරය බිහිවීමට මං පෑදුවේය. මොහු මෙරට ඉතිහාසය හා උරුමය ආරක්ෂා කිරීමට කොතෙක් ඇපකැප වූයේද යත් එකල මිනිසුන් මොහු හැඳින්වූයේ ‘ගිරිගෝරිස් රජු’ යන අන්වර්ථ නාමයෙනි.

1873 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ කෞතුකාගාර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අදාළ යෝජනාව ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව 1874 වර්ෂයේ සිට එහි ඉදිකිරීම් ආරම්භ කොට ඇත. යාපනය ඔරලෝසු කණුව වැනි ස්මරණීය ඉදිකිරීම් සැලසුම් කළ එවකට රජයේ වාස්තු විද්‍යාඥයකු වූ ජේ.ජී. ස්මිදර් මහතා විසින් ඉතාලි ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව යමින් කෞතුකාගාර ගොඩනැඟිල්ලේ සැලැස්ම ඇඳ ඇත. ප්‍රසිද්ධ කෞතුකාගාරයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරයාගේ අවධානය යොමු කළ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ද මෙම ජාතික කාර්යභාරයේදී වෙසෙසින් සිහිපත් කළ යුතුය.

ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතාගේ අවධියේදී මෙසේ ගොඩනැඟුණු කෞතුකාගාරය ‘ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව’ ලෙස අභිවර්ධනය විය. යාපනය, මහනුවර වැනි ලංකාවේ සෙසු නගර ආශි්‍රතවද කෞතුකාගාර පිහිටුවීම සමඟ 1942 අංක 31 දරන ආඥා පනත මඟින් වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ගොඩනැඟුණි. ප්‍රාරම්භක අවධියේ කෞතුක භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් මහජන ප්‍රදර්ශනයට තැබුවද අද වන විට එය ප්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇත. පාසල් සිසුන්, උසස් අධ්‍යාපනයේ නියැළෙන විද්‍යාර්ථීන්, පර්යේෂකයන් හා දෙස්-විදෙස් සංචාරකයන්ගේ පහසුව පිණිස අද වන විට ජාතික කෞතුකාගාරය විවිධ නිර්ණායක යටතේ වර්ග කොට ඇත. පහත මාලයේ විවිධ රාජ්‍ය යුග පැවැති පිළිවෙළ අනුවද, ඉහළ මාලයේ විෂයානුබද්ධවද කෞතුක භාණ්ඩ රැසක් තැන්පත් කොට ඇත. ලිඛිත ඉතිහාසය ඇරැඹීමට පෙර විසූ ආදි මානවයන්ගේ යුගයේ සිට අනුරාධපුරය, පොළොන්නරුව ආදී වශයෙන් පැවැති රාජධානි යුග අනුව මෙහි කෞතුක භාණ්ඩ රැසක් තැන්පත් කොට ඇත. තොලුවිල බුද්ධ ප්‍රතිමාව, වල්ලිපුරම් රන් සන්නස, පනාකඩුව තඹ සන්නස, ක්‍රි.ව. 6 වැනි සියවසට අයත් අවලෝකිතේශ්වර ප්‍රතිමාව, කොටවෙහෙරින් හමුවූ ඇත් පහන වැනි සුවිශේෂී වූ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රැසක් ජාතික කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

ධවල වර්ණයෙන් කොළොම්පුරය බබළවමින් විරාජමානව සිටින ජාතික කෞතුකාගාරය ලක්දිව ඓතිහාසික, සංස්කෘතික, සමාජීය තොරතුරු කියාපාන ස්වදේශීය අනන්‍යතාවයේ ප්‍රතිමූර්තියක් බඳුය. එය ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස වර්ධනය කරමින් මතු පරපුරට දායාද කිරීම සකල ශ්‍රී ලාංකිකයන්ගේ මාහැඟි වගකීමක් වන්නේය.

දුමින්ද ලක්මාල් – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top