Local

ආහාර නිෂ්පාදනය වැඩි කරලා ගොවියා ගොඩදාන අටුකොටු පිරවිල්ලේ ඇත්තම කතාව!

වත්මන් ආහාර නිෂ්පාදන වැඩසටහනට ක්ෂේත්‍ර කීපයක් එක් වූවක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ අනුග්‍රහයෙන් ජනාධිපතිවරයා බලාරොත්තු වේ. එනම් ආහාර නිෂ්පාදන වැඩි කිරීමට අමතරව ගොවියාගේ ආදායම වසර තුනක් ඇතුළත දෙගුණයක් කිරීම හා නවීන තාක්ෂණය කෘෂිකර්මයට මුසු කිරීමට ඇවැසි පරිසර සැකසීමය.

1950 දශකයේ දී රටේ සහල් අවශ්‍යතාවයෙන් 85%ක්ම ආනයනය කරන ලදී. සලාක ක්‍රමයක් යටතේ රටේ සෑම පවුලකටම ආහාර ලැබෙන බවට. මේ කාලය තුළ බෙදාහැරීමේ ක්‍රමයෙන් සහතික කරන ලදී. (ආර්ථික විමසුම 1997 අප්‍රේල් – මැයි)

මේ නිසා නිදහස ලැබීමත් සමඟ ම ආහාර නිෂ්පාදන විෂයට ප්‍රමුඛතාවයක් ලබා දීම ශ්‍රී ලංකාවේ සියලුම ආණ්ඩු පොදුවේ සිය ප්‍රතිපත්ති කරගෙන තිබුණි. එහි ප්‍රතිඵලක් වශයෙන් දේශීය වශයෙන් විශේෂයෙන් ‘වී’ නිෂ්පාදනය ඉහළ දැමීම උදෙසා විවිධ සහන ලබා දීම මඟින් අස්වද්දනු ලබන කුඹුරු ප්‍රමාණය හා ලබා ගත හැකි අස්වැන්න (හෙක්ටයාර් එකකට) ඉහළ දැමීමට කටයුතු සම්පාදනය කළ බව කාටත් රහසක් නොවේ. අවසානයේ වර්තමානය වන විට ශ්‍රී ලංකාවට දේශීය සහල් නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත මට්ටමට ළඟා වීමට හැකි විය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, මහවැලියට අමතරව ක්‍රියාත්මක වූ විවිධ වාරිමාර්ග ව්‍යාපාරය හා පොහොර සහනාධාර මීට හේතු වුණි.

මේ වන විට අපේ රටේ මාසික සහල් අවශ්‍යතාවය මො.ටො. ලක්ෂ 2කි. වාර්ෂිකව මෙ.ටො. ලක්ෂ 24ක අවශ්‍යතාවයක් රටේ පවතී. 2015 සහල් ආනයනය දේශීය අවශ්‍යතාවයෙන් 0.7%කි. 2016 දී ආනයනයක් සිදු නොවීමෙන් පැහැදිලි වන්නේ දේශීය සහල් අවශ්‍යතාව මෙරටෙහිම නිෂ්පාදනය කර ගැනීමට හැකි වී තිබීමයි. 2015 වසරේ වුව ද ආනයනය කර ඇත්තේ 2014 වසරේ ඇණවුම් කළ සහල් තොග බව පැවසේ.

එසේ නම් මේ වසරේ මෙ.ටො. ලක්ෂ 5ක ආනයනයක් සිදු වන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැහැදිලිය. නියඟ, ගංවතුර හා ස්වාභාවික විපත් නිසා අපේක්ෂිත වී අස්වැන්න 50%කින් පමණ අඩු වීමය.

කෘෂිකර්මයේ තත්ත්වය

“2016 වසරේ දී කෘෂිකාර්මික කටයුතුවල එකතු කළ අගය වසරේ අත්පත් කරගත් 4.8% වර්ධනයට සාපේක්ෂව 4.2%කින් පහත වැටුණි. විශේෂයෙන්ම වසරේ දෙවැනි කාර්තුවේ පැවැති ගංවතුර සහිත කාලගුණික තත්ත්වය මෙන් ම වරින් වර පැවැති වියළි කාලගුණික තත්ත්වය වැනි වසර පුරාම පැවැති අයහපත් කාලගුණික වාතාවරණය කෘෂිකාර්මික කටයුතු අඩාල වීමට ප්‍රධාන වශයෙන් හේතු විය.”

“වී නිෂ්පදනය 2015 වසරේ වාර්තා වූ ඉහළම අස්වැන්නෙන් පසු 2016 වසරේ දී මෙ.ටො. මිලියන 4.4ක් දක්වා 8.3% කින් පහත වැටුණි. අස්වැන්න නෙළා ගන්නා ලද ශුද්ධ භූමි ප්‍රමාණය හෙක්ටර්යර් 1, 010, 489ක් දක්වා 7.1% කින් පහළ ගිය අතර 2015 වසරේ දී හෙක්ටරයාරකට වී කි. ග්‍රෑ. 4372 දක්වා පහත වැටුණි.

2016 මහ බැංකු වාර්තාවෙන් හෙළි වන මෙම පසුබෑම වී වගාවට පමණක් නොව අනෙක් වගාවටද බලපා තිබේ.

“අයහපත් කාලගුණික තත්ත්වය හා චකී‍්‍රය හා ඍතුමය අස්වනු රටා හේතුවෙන් ඇතැම් සුළු අපනයන භෝග නිෂ්පාදනය පහළ ගියේ ය.”

“2015 වසරේ 12.9%ක වර්ධනයක් වාර්තා කළ සුළු අපනයන භෝග නිෂ්පාදනය 2016 වසරේ දී 9.5%කින් පහත වැටුණි.” සමස්තයක් වශයෙන් ගත් කල, වසර තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙනත් ක්ෂේත්‍ර භෝග නිෂ්පාදනය පහත වැටුණි. 2015 වසරේ දී මෙ.ටො. 362452ක් වූ වෙනත් ක්ෂේත්‍ර භෝග නිෂ්පාදනය 2016 වසරේ දී මෙ.ටො. 339, 253 දක්වා 6.4%කින් පහළ ගියේ ය.” (2016 මහ බැංකු වාර්තාව)

මහ බැංකුවේ වර්තාව

අයහපත් කාලගුණය පිළිබඳ ප්‍රශ්නය සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ම පසුබෑමට හේතු වී තිබෙන බව දේශපාලනික නොවන මධ්‍යස්ථ විග්‍රහයකින් යුත් 2016 මහ බැංකු වාර්තාවෙන් පැහැදිලි වේ. මේ නිසා අපේ රටේ කෘෂිකර්මයේ වර්ධනීය රටාව නැති නම් රිදම් එක පසුබෑමකට ලක්ව ඇත. එය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවේ. ස්වභාවික අපදා නිසා ඇතිවූවකි. වර්තමානයේ ද මේ වාතාවරණයේ අඩුවක් දක්නට නොලැබේ. එහෙත් ආණ්ඩුවකට එය ස්වභාවික විපත්වලටම අත්හැර දමා සිටිය නොහැකිය. ඉහළ යන සහල් මිල අභියස ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹුවේ එම වගකීම පෙරදැරි කර ගනිමින් ඊට පිළියමක් ලෙසිනි. ඩී. ඇස්. හා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ සිට නිදහස් ශ්‍රී ලංකාවේ සෑම රාජ්‍ය නායකයෙක්ම මීට සමාන වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇත. රටේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු වීමට පමණක් නොව ජනතාවගේ අවධානය ඒ සඳහා යොමුවීමට එම වැඩසටහන් හේතු වූ බව කිව යුතුය. එහෙත් ගොවියාගේ ජීවන මට්ටම ඉහළට ඔසවා තැබීමට හෝ ගොවීන් ගොවිතැන තුළ රඳවා ගැනීමේ හැකියාවත් එම වැඩ සටහන්වලට තිබුණ ද යන්න ප්‍රශ්නයකි. එසේ ම ගොවිතැන දිගින් දිගටම යැපුම් මට්ටමේ තබාගැනීම හැරෙන්න ඊට වැඩි යමක් කාලයාගේ ඇවෑමෙන් වුව ද සිදුවු බවක් දක්නට නොලැබේ. සමස්තයක් වශයෙන් එසේ වුවද කුඩා පරිමාණයෙන් හා පෞද්ගලික මට්ටමින් ගොවිතැනට නවීන තක්ෂණය උපයෝගී කර ගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. එහෙත් රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වන්නේ අපේ රටේ කෘෂිකර්මයට යම් මට්ටකින් හෝ නවීන තාක්ෂණය මුසුකරලීමටය. නැතිනම් තරුණ පරපුර මේ ක්ෂේත්‍රය හැර යනු ඇත. දැනටමත් සිදු වෙමින් පවතින්නේ එයයි.

ජනපතිගේ අරමුණ

මේ නිසා වත්මන් ආහාර නිෂ්පාදන වැඩසටහනට ක්ෂේත්‍ර කීපයක් එක් වූවක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ අනුග්‍රහයෙන් ජනාධිපතිවරයා බලාරොත්තු වේ. එනම් ආහාර නිෂ්පාදන වැඩි කිරීමට අමතරව ගොවියාගේ ආදායම වසර තුනක් ඇතුළත දෙගුණයක් කිරීම හා නවීන තාක්ෂණය කෘෂිකර්මයට මුසු කිරීමට ඇවැසි පරිසර සැකසීමය. මෙ කාරණා තුනටම රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යය.

අපේ රටේ කෘෂිකර්මය යැපුම් මට්ටමින් මි දී වාණිජ ක්ෂේත්‍රයට යොමු කිරීම මගින් කෘෂි අංශයේ වාර්ෂික අපනයන ආදායම රු. කෝටි 1100 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් ද මෙම වැඩ සටහනට අන්තර්ගත කර තිබේ. ගොවියාගේ ජීවන මට්ටම උසස් කිරීමෙන් තොරව කිසිදු ආහාර නිෂ්පාදන වැඩසටහනක උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නොහැකිය යන්න රජය තේරුම් ගෙන සිටී. වෙනත් නායකයනට වඩා ජනාධිපතිවරයා එය අත්දැකීමෙන් ම දැන ගෙන සිටින බව පැහැදිලිය.

වගා සටනේ පැරැණි ප්‍රශ්න

එසේ ම පසුගිය පාලන සමවල දී මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හා හඳුනාගත් කාරණා සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇත. එසේ ම එතුමා නිලධාරීන්ගේ උපක්‍රම මෙන් ම ඔවුන්ගේ මවාපෑම් හොඳින් හඳුනා ගෙන සිටින නායකයෙකි.

මේ නිසා හිටපු සමහර නායකයන් මෙන් කටරොඩු වැල්වල පතෝල කරල් එල්ලා හෝ අහසින් යනවිට වෙල් යායවල් වෙනුවට ‘ඉලුක් මානා යායවල් පෙන්වා රැවටීමට නොහැකිය. එහෙත් එම නිලධාරි පරම්පරාවලින් පැවත එන අය තවමත් සිටින බව නම් පැහැදිලිය. ඒ ගැන තේරුම් ගැනීම ද වැදගත් ය.

මේ නිසා “අපි වවමු රට නඟමු” ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක කරවීමට කටයුතු යොදා ඇති බහුකාර්ය වැඩසටහනකි. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන පමණක් නොව අධ්‍යාපන, ධීවර ආදී වශයෙන් අමාත්‍යාංශ කීපයක්ම මේ සඳහා දායකත්වය සැපයීමට සූදානම් ය. උතුරු මැද පමණක් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් අක්කර 10, 000ක අලුතින් පොල් පැළ ලක්ෂයක් වගා කිරීම, ගොවි පවුල් ලක්ෂයක ඉඩම් ඔප්පු ලබාදීම, වගා කර නැති ඉඩම් පවරා ගෙන වගා කරන අයට ලබා දීම ආදී කාර්යයන් රැසක් සැලසුම් කර තිබේ. වැව් 1000ක් සංවර්ධනය කරමින් පුරං කුඹුරු අක්කර 1, 350, 000ක් යළි අස්වැදීමට නියමිතය. පාසල් 5700ක ගෙවතු වගාව අරඹමින් අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙම වැඩසටහන්වලට සම්බන්ධ වීමට නියමිතය. ඉන් පාසල් 100 ආදර්ශ ගොවිපළවල් නිර්මාණය වේ.

වැඩසටහනේ අරමුණ

ස්වභාවික හේතූන් නිසා පසුබැස්මකට ලක්ව ඇති අපේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම මේ වැඩසටහනේ එක් ප්‍රධාන අංශයක් වේ. එසේ නොවන්නට ඉදිරියේ ආහාර සඳහා පිටරට ඇ දී යන මුදල දැනට දරන මුදලට වඩා වැඩිවීම අනිවාර්යෙන් ම සිදු වනු ඇත. මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පමණක් පිට රටට ඇ දී යන මුදල රු. කෝටි 2500ක් යැයි ගණන් බලා තිබේ. මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක නොවන්නේ නම් එය මීටත් වඩා වැඩි වනු ඇත. මෙහි අනෙක් ප්‍රතිඵලය මෙවන් ස්වභාවික විපත් අප ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල සිදු වුවහොත් ඒවායේ මිල මට්ටම් පවතින මිලට වඩා වැඩි වීමට ද ඉඩ තිබීමයි. අනාගතයේ දී එවැන්නකට මුහුණ දීමට සිදු වුවහොත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා පමණක් මීට වඩා වැඩි මුදලක් වුවද දැරීමට රටක් වශයෙන් අපට සිදු වේ.

මේ නිසා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකින්වත් ස්වයංපෝෂිත වීම හෝ යම් ස්වයංපෝෂිත මට්ටමකට ළඟා වීම අරමුණු කරගත් දීර්ඝ කාලීන සැලැස්මක් මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමික වැඩසටහන සතු බව පැහැදිලිය. අපි වවමු රට නඟමු යන්න සතියකින් දෙකකින් හෝ වසරකින් අවසන් වන වගා සංග්‍රාමයක් නොවේ. 2020 ඉලක්ක කරගත් වසර 3ක මූලික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වේ. පක්ෂ පාට භේදයකින් තොරව මීට සහයෝගය දැක්වීම කාගේත් යුතුකමකි. ඊට හේතුව මේ මොහොතේ කවුරු බලයේ සිටියද මෙවැනි වැඩසටහනකට යෑමට සිදු වීමයි. මෙහි ඇති විශේෂත්වය කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ බිම් මට්ටමේ සිට අත්දැකීම් ඇති නායකයෙක් රටේ රාජ්‍ය නායකයා ලෙසින් මීට නායකත්වය දීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top