Business

ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට හිමිවෙනවා – කේශාප්

මෙම මස මුල භාගයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඇ.ඩො.බිලියන 1.5 ක ණය මුදලක් සැපයීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහාය දක්වන බවත්, මෙමගින් රජයට අවශ්‍ය කරන්නාවූ මූල්‍ය සහ ආර්ථික සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මහඟු අවස්ථාවක් උදාකරදෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් මහතා පවසා සිටියේය.

එක්සත් ජනපද තානාපතිවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 28 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 177 වැනි වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අතුල් කේශාප් මහතා පවසා සිටියේ,

“එක්සත් ජනපදය පසුගිය වසර 60 පුරා ශ්‍රී ලංකාවට සංවර්ධන සහ මානුෂීය සහාය ලබාදෙනවා. මේ ආධාර සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, ව්‍යවසාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සත්කාර, බලශක්තිය සහ ස්වාභාවික සම්පත්, යහපාලනය හා මානුෂික ක්‍රියාකාරකම් යනාදී සියලුම ක්ෂේත්‍රයන්හි අපි සුවිශාල ආයෝජනයන් සිදුකර තිබෙනවා.

මේ වසරේදී එක්සත් ජනපදය ඇ.ඩො.මිලියන 40ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන අතර, ඉදිරි වසර සඳහාත් මේ හා සමාන ආධාර ලබාදෙන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජය යහපාලනය සම්බන්ධයෙන් දක්වන කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ක්‍රියාවලියට පහසුකම් සැලසීමට අමතරව ඩොලර් මිලියන ගණනාවක් ලබාගැනීමට අවස්ථා උදාකරන වැඩසටහනක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වූ ඇගයීම්වල නියැළී සිටිනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රථම වටය නිමාවට පත්වූ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පාර්ශ්වකරණය පිළිබඳව සාකච්ඡාවන් අපට දෙරට අතර සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා වූ තවත් එක් මාවතක්. මේ සාකච්ඡාවන් ප්‍රධාන කරුණු 04ක් ඔස්සේ සිදුවූ අතර මේවායින් එකක් ලෙසට ආර්ථික සහයෝගීතාව සැලකිය හැකියි. මේ යටතට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ආයෝජනයන් දිරිගැන්වීමටද ඇතුළත් වෙනවා. එක්සත් ජනපද ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන වැඩසැලසුම් සභා රැස්වීම (TIFA) අප්‍රේල් මාසයේදී වොෂින්ටන් නුවරදී පැවැත්වීම සඳහා අප අනුග්‍රහය ලබාදුන් අතර, මෙමගින් අපගේ වෙළෙඳ සහ වාණිජ සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කරනවා.” යනුවෙනි.

2(2354)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top