Sports

ඉන්දියානුවෝ අනුකම්පාව අත්හරිති, අද තරගයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සැලැස්ම (Photos)

ටෙස්ට් තරගාවලියත් එක්දින තරගාවලියත් දෙකම අසීරුවකින් තොරව ජයගත් ඉන්දීය කණ්ඩායම විස්සයි-20 තරගාවලියත් ජයග්‍රහණයෙන් අවසන් කිරීම පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටී. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (22 වැනිදා) පස්වරු 7.00 සිට ඉන්දෝර්හි හෝල්කාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට විස්සයි20 තරගාවලියේ රැඳී සිටීමට නම් අද තරගය ජයගැනීම අනිවාර්ය වී තිබේ. කෙසේ වෙතත් විස්සයි-20 තරගයක් සම්බන්ධයෙන් අනාවැකි කීම ඉතාමත් අසීරු වන හෙයින් ඉන්දියානුවන්ගේ අපේක්‍ෂාව වී ඇත්තේ මෙම තරගයත් ජයගනිමින් තරගාවලිය ජයගැනීමෙන් පසුව අත්හදා බැලීම් කිරීමයි.

ආසියාතිකයන් වුවද ක්‍රිකට් පිටියේදී නම් ඉන්දියානුවන් සතු අනුකම්පාව බිංදුවටම සිඳී ගොසිනි. ඒ බව කටාක් තරගයේදී පැහැදිළිවම දැකගත හැකිවිය.

දිගු කලකට පසුව නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසි ලෝකේෂ් රාහුල් ලබාගත් අර්ධ ශතකයත්, මනීෂ් පාණ්ඬේ සහ මහේන්ද්‍ර සිං දෝනි දෙදෙනාගේ ප්‍රචණ්ඩ පිතිහරඹයත් නිසා අවසන් ඕවර 5 දී ඉන්දියානුවෝ ලකුණු 66 ක් ලබාගත්හ. ප්‍රවේසමත් ප්‍රචණ්ඩත්වයත් කදිමට මුසු කළ ලෝකේෂ් රාහුල් සිය ලකුණු 61 ලබාගත්තේ පන්දු 48 කිනි.

ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලිය පහසු එකක් නොවේ. කටාක් සිට ඉන්දෝර් දක්වාත් යළි එතැන් සිට මුම්බායි දක්වාත් ගමන් කිරීමට තිබියදීත් තරග දෙකක් අතර ඇත්තේ විවේකය දිනයක් පමණි. ඒ මදිවාට රාත්‍රී කාලයේ පවතින් පින්න පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේදී නම් ඉතා දුර්ලභ තත්ත්වයකි.

පින්න හේතුවෙන් පන්දුව නිසි පරිදි ග්‍රහණය කරගැනීමට නොහැකි වීම නිසා පන්දු පිත්තටම ලැබෙන අවස්ථා ගණන වැඩිවී තිබේ. එහි අනුයාත ප්‍රතිඵලය වන්නේ පන්දුව හතරේ සීමාවෙන් එපිට සිටි අහුලාගෙන ඒමයි.

හෙට තරගයේදී බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වන අතර එහිදී ධනුෂ්ක ගුණතිලකට හෝ චතුරංග ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වේ. පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් බහුතරයක් වමත් පිතිකරුවන් වන බැවින් හෙට තරගයේදී දකුණත් පිතිකරුවකු වන සධීර සමරවික්‍රමට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමටද බොහෝ ඉඩකඩ තිබේ.

ඉන්දියාවට එරෙහිව කටක්හි බරබාති ක්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) සිය 100 වැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව, එහිදී ලකුණු 93 කින් පරාජයට පත්වූයේ ඉන්දියාවට වාර්තාගත ජයක් අත්කර දෙමිනි. එය ඉන්දීයවේ විශාලතම විස්සයි20 අන්තර්ජාතික ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වූයේය. එම තරගයේදී රැස්කළ ලකුණු 87 විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස්කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.

මින් පෙර බංග්ලාදේශය හමුවේ තරගයක්ද, ඉන්දියාව හමුවේ එක් තරගයක්ද, පාකිස්තානය හමුවේ තරග 3 ක්ද පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරගයේදී අත්කරගත්තේ පිට පිටම ලැබූ 6 වැනි විස්සයි20 අන්තර්ජාතික පරාජයයි.

ලකුණු 181 ක ඉලක්කයක් හඹායෑමේදී උපුල් තරංග හැරණු කොට කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 සීමාව පසුකර යෑමට අපොහොසත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව සනාථ කරමින් තරංග කියා සිටියේ පිතිකරුවන් අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වූ බවයි.

ආබාධ තත්ත්වකට ලක්ව සිට ඉන් සුවය ලබා කලකට පසු නැවත කණ්ඩායමට පැමිණි කුසල් පෙරේරාට පන්දු 28 කදී ලබාගත හැකිවූයේ ලකුණු 19 ක් පමණි. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් හයේ පහරක් හෝ හතරේ පහරක් නොමැතිව විස්සයි20 තරගයකදී මුහුණදුන් තෙවැනි වැඩිම පන්දු සංඛ්‍යාව ලෙසද සටන් විය.

වේග පන්දුයවන්නන් තිදෙනෙකු සහ වේග පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරුවන් සිවු දෙනෙකු සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට සහභාගි වුවත්, ඉනිමේ අවසන් ඕවර 4 දී ලකුණු 61 ක් රැස්කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ. දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා දිගින් දිගටම පහර කෑමට ලක් වෙද්දී දසුන් ශානකට හෝ අසේල ගුණරත්නට පන්දු යැවීම සඳහා කැඳවීමක් නොලැබීම විමතිය දනවන කරුණක් විය.

ඔවුන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටුණ කඩුලු 10 න් 6 කටම හිමිකම් කීමට සමත් වූයේ යුස්වින්දර් චාහල් සහ කුල්දීප් යාදව් යන දඟ පන්දුයවන්නන් දෙදෙනාය. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ එක් දඟ පන්දුයවන්නෙක් පමණි. ඔහුද සිය ඕවර හතර තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 30 ක් ලබාදුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දෝර්හි හෝල්කාර් ක්‍රීඩාංගණයේදී තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර එහිදී ජාත්‍යන්තර විස්සයි20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි. මින් පෙර එම ක්‍රීඩාංගණයේදී පවත්වා ඇත්තේ ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 5 ක් පමණි. ඒ තරග සියල්ලම ජයගත් ඉන්දීය පිලට හොල්කාර් ක්‍රීඩාංගණය ඉතාමත් වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙසද සැලකේ.

ශ්‍රී ලංකා සංචිතය
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු

ඉන්දීය සංචිතය
රෝහිත ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, වොෂිංටන් සුන්දර්, යුස්වේන්දර් චාහල්, කුල්දීප් යාදව්, දීපක් හූඩා, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඞ් සිරාජ්, බාසිල් තම්පි සහ ජයදේව් උනාඞ්කට්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top