Sports

එංගලන්ත කඩුලු රකින්නා ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුට ඔලුවෙන් ඇනපු නිසා අළු බඳුන පිටිය ගිනියම් වෙයි

මේ දවස් වල මුළු ලෝකෙම අවධානය හිමිවන ක්‍රිකට් තරඟාවලියක් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ අළු බඳුන තරගාවලියයි. වෙනදා වගේම මේ පාරත් අළු බඳුන තරගාවලිය පටන් ගන්න කලින් ඉදලම විවිධ රසවත් පුවත් වාර්තා වුනා. ඒ අතර ප්‍රධානම කතාව වූණේ “හිසෙන් ඇනීමක්”. වචන වලින් කියවෙනවා වගේම මේ සිදුවීම ක්‍රිකට් වලට ආගන්තුක වචනයක්. හැබැයි එංගලන්තයේ කඩුලු රකින්නා ජොනී බෙයාර්ස්ටෝ පර්ත් අවන්හලකදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔලුවෙන් ඇනලා තියෙනවා.

එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය පටන්ගද්දීම පර්ත් අවන්හලක වුණු මේ සිද්ධිය විකෘති කරලා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරලා තිබුනා. ඒ ගැන එංගලන්ත ක්‍රීඩකයෝ සැහෙන්න දුක් වෙලා තියෙනවා. කොහොම වුණත් අළු බඳුන පළමු තරගයෙන් පස්සේ මාධ්‍ය කරපු ප්‍රශ්න කිරීම් වලදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා කැමරන් කිවුවේ මෙහෙම කතාවක්.

“මාත් ජොනීත් පොඩි කයියක් ගගහා හිටියේ. ඒ වෙලාවේ එයා මාත් එක්ක තියෙන Fit එකට ඔලුවෙන් ඇන්නා. මම හිතුවේ එයා අතට අත දෙයි කියලා. ඒ වගේ දෙයක් මං ඒ වෙලාවේ බලාපොරොත්තු වුනේ නැහැ. හැබැයි අපි දිගටම හිනාවෙවී කතා කර කර හිටියා.” කැමරන් එහෙම කියද්දී මාධ්‍ය සාකච්ඡාවට ඇවිත් හිටිය ඕස්ට්‍රේලියානු නායකයාට හොදටම හිනා ගියා.

මේ ගැන එංගලන්ත කඩුලු රකින ජොනි කිවුවේ,

“අපි අවන්හලේ හිටියේ හොඳ විනෝදයෙන්. අපි කොහොමත් විනෝදෙන් තමා ඉන්නේ. එතැන කිසිම විරෝධයක් හෝ එදිරිවාදීකමක් තිබුණේ නෑ…කොහොම වුණත් දැන් අපට ඒක අමතක කරලා දාලා ඉදිරියට යන්න පුළුවන්” කියලයි.

කොහොම වුනත් මේ සිදුවීම අන්තිමට අළු බඳුන පුහුණු තරගයේදී පිටියටත් ආවා. “ඔවුන් ඒක පිට්ටනියටත් ගෙනාවා. ඒ ගැන ඇත්තටම කණගාටුයි. ඒ වගේ අවස්ථා ඔවුන්ට නොදෙන්න අපි පරෙස්සම් වෙන්න ඕනෑ…ඇරත් ඕවා මේ කොල්ලන්ගේ වැඩ” කියලයි එංගලන්ත නායකයා මේ සිදුවීම ගැන පුහුණු තරගයෙන් පස්සේ කිවුවේ. ඒක පිළිගත්ත ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කිවුවේ ජොනී බෙයාර්ස්ටෝ පන්දුවට පහර දෙද්දී ඔහුගේ අවධානය බිඳ දැමීම සඳහා තමන් ඒක යොදා ගත්තා කියලයි.

“මම උත්සාහ කළේ ජොනීගේ ඔලුව අවුල් කරන්නයි. එයා තර්ඞ් මෑන් ස්ථානයට උඩ පන්දුවක් දුන්න. ඒක හොඳ පහරක් නෙමේ. දුර්වල පහරක්….මා හිතන්නේ අපේ උපක්‍රමය හරිගියා” කියලයි ස්මිත් හිනාවෙවී කිවුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top