Entertainment

කිසිම ට්‍රෙන්ඩ් එකක් ඕපපාතික නෑ

තාරුණ්‍යය කියන මාතෘකාව තුළ ඔබේ කියැවීම මොකක්ද?

මම හිතන විදියට තාරුණ්‍යය කියන්නේ ජීවිතේ එක්තරා කාලයක් විතරයි. Life එහෙමත් නැත්නම් ජීවිතය කියන කාල සීමාව තුළ තාරුණ්‍යය එක segment එකක්. size එකක්. එක මොහොතක් නියෝජනය කරනවා. ඒක නිශ්චිතව තනිකරලා කතා කරන්න බැහැ. ඒක ඉතිහාසය සහ අනාගතය අතර වූ එක්තරා මොහොතක් විදියට මම දකිනවා.

අද කාලේ තාරුණ්‍යය තුළ හඹා යෑම් බහුලයි. ඔවුන්ට ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ ගැන මොනවද හිතන්නේ.?

Trend එන්නේ ඕපපාතිකව නෙවෙයි. මගේ අදහසේ හැටියට නම් Trend කියන්නේ ලෝක පරිණාමය තුළ සමාජ දේශපාලන ආර්ථිකමය වශයෙන් සිදුවන වෙනස්කම්වල පිළිබිඹුවක්. ඒක මාධ්‍ය, විලාසිතා, සන්නිවේදන ආදී සියල්ලටම බලපානවා. ඊට පස්සෙ ඒ සියල්ල එන්නේ Trend විදියට. ඔය කියන ආර්ථික දේශපාලනික ව්‍යාපෘතිවල වෙනස්වීම මත භාෂාව පවා Trend එකක් බවට පත්වෙනවා.

සංස්කෘතිමය දෘෂ්ටිකෝණයක හිරවුණු තාරුණ්‍යයකට ඔය කියන ට්‍රෙන්ඩ් එක ගැළපුණේ කොහොමද?

අර මම මුලින් කියපු සමාජ, දේශපාලන වෙනස්කම් මත එන නව ලිබරල්වාදී දේශපාලන පිළිබිඹුවක් තුළ මෑත ඉතිහාසයේ, නව ලිබරල්වාදය පැලපදියම් වෙද්දී මිනිස්සු සංසරණය වෙනවා. අන්තර් සංස්කෘතික, අන්තර් වෘත්තීමය සංස්කෘතික වශයෙන් සිදුවෙන මේ සංසරණය තුළ කලාපීය වශයෙන් Trend එක ඇදිලා යනවා. එතැනදී සංස්කෘතික සීමා බන්ධන බිඳගෙන ඒ ජල දහරා ගලාගෙන එන්න පුළුවන්.

එතකොට හරයක් නැති කලා මාධ්‍ය බිහිවීමටත්, නූතන තාරුණ්‍යය ඒවා වැලඳ ගැනීමටත් ඔය කියන ට්‍රෙන්ඩ් එකේ ගලා යෑම හේතු වෙනවද?

ඔව්, අර ප්‍රවාහ කලාපය හරහා ගලාගෙන එද්දී ඒක කලාවටත් බලපානවා. ඒ බලපෑම විවිධාකාර විය හැකියි. අන්තර් මාධ්‍යමය වශයෙන් ඒවා විවිධයි. නමුත් හරයක් බරක් නෑ කියන කතාවට මම එකඟ නෑ. එතකොට හරයක් බරක් තියෙන කලා කෘති බිහිවුණේ 70-80 දශකයේ විතරද? ඒක යුටෝපියාවක්. අපේ මිනිස්සු තවම ඉන්නේ නොස්ටැල්ජියාවක. ඒ කියන්නේ අතීතකාමයක. අද කලා මාධ්‍ය හොඳ නැති වෙන්නත් 70-80 දශකය අගය කරන්නෙත් අන්න ඒ කියන නොස්ටැල්ජියාවක හිරවෙලා ඉන්න නිසයි.

එතකොට 70-80 දශකයත් මේ කාල සීමාවත් අතර හරවත් කලා මාධ්‍යයක් අපේ තාරුණ්‍යයට උරුම නැද්ද?

නෑ උරුමයක් තියෙනවා. අද දවසේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉහළ මට්ටමේ රසඥතාවක් හිමි තාරුණ්‍යයක් ඉන්නවා. ඇත්තටම 70-80 දශකය ගත්තාම බහුතරය ඉන්දියානු කොපි. හැබැයි හරියට කොපි කරලාවත් නෑ. ඒ කියන්නේ අපි ගීතයක් ගත්තොත් මුල් ගීතය තුළ සංගීත භාවිතාව ඉතාම විශිෂ්ටයි. ඒ සංරචනය ඉතාම ඉහළයි. නමුත් මෙහෙදි නැවත ඒ ගීතය ලියැවෙන විට ලියැවෙන්නේ බාල සංරචනාවක් එක්ක. අඩුම තරමේ මොහොමඩ් රාෆි කරපු දේවත් අපිට කරගන්න බැරිවෙලා තියෙනවා.

එතකොට අද තාරුණ්‍යයේ හරවත් නොවන කලා මාධ්‍ය පිළිබඳ චෝදනාව අර්ථ විරහිතද?

සමහර අය එහෙම කියනවා. අද තියෙන්නේ වචන ටිකක් විතරයි. අර්ථයක් නෑ කියලා. සංගීතය කියන්නේ කොහොමත් ශබ්දයක් පමණයි. වේදිකාව ගත්තත්, සිනමාව ගත්තත් ඔය කියන චෝදනාව තියෙනවා. නමුත් මේ සියල්ල ඉතා පුළුල් විෂයක්. මතුපිට සිට කිසිවක් තීරණය කරන්න බැහැ. මේක බහුතරයක් කරගෙන යන දෙයක් නෙවෙයි. ඔය කියන කලා භාවිතාව ගැන මටත් විවේචනයක් තියෙනවා. නමුත් හැමෝම නෙවෙයි. ඔය කතාව තේරුම් ගන්න අපේ වයසක පරම්පරාවට ඥානයක් නෑ.

මේ පරම්පරාව තුළ වීරයන් බිහිවීමේ අර්බුදයක් පවතිනවා. ඒකට හේතුව මොකක්ද?

ඔව්. ඒ යුගය තුළ වීරයෝ හැදුවා. ඒක කළේ මාධ්‍ය. පසුගිය දශකය තුළ මාධ්‍ය මඟින් සෑහෙන පිරිසකට ඔටුනු පැලැන්දුවා. ඒවා අතිශය පෞද්ගලික ව්‍යාපෘතීන්. ඒත් සිනමාව හෝ වෙනත් කිසිවක් හැදිලා නැහැ. ලෙස්ටර්ගෙන්, පතිරාජගෙන් පස්සේ මේ සිනමාව ලෝක තලයට ගියේ නැද්ද. ගියා. මේක මහ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතාවක්. මානසික ගැතිවීමක්.

එතකොට මේ පරම්පරාවේ වීරයන් මිය ගියේ මාධ්‍යයේ නිර්ලජ්ජිත භාවිතාව නිසාද?

මම මගේ ක්ෂේත්‍රය වන සිනමාව තුළ ඉඳලා කතා කළොත් මගේ සිනමාවේ වසර 20ක කෙටි කාලය තුළ මම දැක්කා තිබුණු සම්මාන උළෙලවල විනිවිදභාවය මොනවගේද කියලා. සම්මාන බෙදාගත්තු හැටි මම හොඳට දන්නවා. එයාලම රැජිණියෝ හැදුවා. සක්විතිලා හැදුවා. ඇයි අද එහෙම අය නැද්ද. අදත් ඉන්නවා. නමුත් ඒක තමයි බොරුව, මායාව. ඒ අයගේ දායකත්වය සිනමාව තුළ විශිෂ්ටයි. නැත්තෙ නෑ. නමුත් ඒවා සමාජගත වීම තුළ අද වීරයෝ නෑ කියන තැනට සමාජය කනපිට හැරිලා.

ඔබ කියන පරිදි වීරයෝ ඉන්නවා නම් කෝ ඒ අය? ඇයි ඒ අය මතු නොවෙන්නේ?

ඔව්. එක පැත්තකින් සමාජ මාධ්‍ය වීරයන් බිහි කරන්නේ නෑ වගේම වීරයන් බිහි නොවීමේ ප්‍රවණතාවකුත් ඇතිවෙමින් යන බව මම පිළිගන්නවා. ඒක ප්‍රාග්ධන තර්කනයේ අවියෝජනීය අංගයක්. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත තවදුරටත් වීරයෝ බිහිවෙන්නේ නෑ. දැන් තම තමන්ම තමයි වීරයෝ වෙන්නේ. ස්වකාමී පාරම්භනයක් ප්‍රමුඛ වෙලා. facebook එකට ගියාම ඒ ස්වකාමී පාරම්භනය බලා ගන්න පුළුවන්. තමන්ගේ වීරත්වය තුළ තමන්ගේ උත්කර්ෂය පෙන්වා ගන්නවා. මේ සියල්ල තුළින් කරන්නේ තමුන්ව නඟාසිටුවා ගැනීම. එවැනි ස්වකාමී සමාජ ක්‍රමයක වීරයන් බිහිවීම සැක සහිතයි.

හංසි ආටිගල – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top