Local

කුඹුරු කොටන ගණන් හදන ගලෙන්බිඳුණුවැව අයින්ස්ටයින්

මීට වසර නවයකට පෙර මා “කුඹුරු කොටන ගණිතඥයා මැයෙන් ලියූ ලිපියට අදාළ කතා නායකයා වූ ඒ අපූරු ගණිතඥයා සොයා යළිත් මම ඉකුත් සතියේ අනුරාධපුර, ගලෙන්බිඳුණ වැව ඇල්ලවැව ගම්මානයට ගියෙමි.

මේ අපූරු ගණිතඥයා ඩී. අයි. අනුරසිරිය. ඔහු බැලූ බැල්මට කුඹුරු කොටන, හේන් කොටන ගොවියෙකි. මා යන විට ඔහු සිය බඩඉරිඟු වගාවේ වල්පැළ නෙළමින් සිටියේ ය.

“අක්කර 4 1/2 ක බඩඉරිඟු හිටෙව්වා. තාම අපට හරියට වැසි නැහැ. තව සතියක් හමාරක් පෑවුවොත් සේරම ඉවරයි” ඔහු කීවේය.

“සේරම ඉවරයි” කීවද අපේක්ෂා භංගත්වයක සලකුණු ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පිළිබිඹු නොවේ. ඒ අනුරසිරිගේ හැටිය. අනුරසිරි අභියෝග, ආශිර්වාද කරගත් මිනිසෙකි. ඒ බව අපි මීට වසර නවයකට පෙර ද දුටුවෙමු. එදා අප ඔහු හමුවන විට ඔහුගේ වයස අවුරුදු 46 කි. දැන් අනුරසිරිට වයස අවුරුදු 56 කි. එහෙත් අනුරසිරි කායිකව මෙන්ම මානසිකවද එදාටත් වඩා සවිමත් සේය.

අනුරසිරිගේ ජීවිතය පුරා ඇත්තේ හපන්කම්ය. ඒ බොහෝ අය මෝඩකම් ලෙස දකින බොහෝ දෑ අනුරසිරි හපන්කම් ලෙස දකින නිසාය. ඔහු නිහඬ මිනිසෙකි. අවැසි මොහොතේ චතුර කථිකයෙකි. දේශකයෙකි. ‍ලේඛකයෙකි.
කහටගස්දිගිලිය, අඹගහවැව උපන් ඔහු සිප් සතර හැදෑරුවේ පඬරැල්ලාව මහ විදුහලිනි. එහිදී ජාතික අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර විභාගයට (NCGE) පෙනී සිටි ඔහු නියමිත විෂයන් 11 න් සමත් වූයේ කෘෂි විද්‍යාව පමණි. විභාගයෙන් ගණිතය අසමත් වූ ඔහු ගණිතඥයකු වූයේ කෙසේද?

“පාසල් වියේ සිටම මා ‍පොත්පත් කියවනවා. මනෝ විද්‍යාත්මක ‍පොතපතට මා දැඩි ඇල්මක් දැක්වූවා. “ජින් පියාජේ” කියන ස්විස් ජාතික මනෝ විද්‍යාඥයා ලියපු එල්.සී. කොතලාවල පරිවර්තනය කරපු “මනෝ විද්‍යා මූලධර්ම” ‍පොත මා සිය වතාවකට වැඩි වාර ගණනක් කියවා තියෙනවා.

මේ අතර තමයි (80 දශකයේ) ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගිටින්න පටන් ගත්තේ. එම පක්ෂය වෙනුවෙන් කැප වූ මා භීෂණ යුගයේ රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා. ඒ හිර කූඩුව මට විද්‍යාගාරයක් වුණා. මා කියූ මනෝ විද්‍යා ‍පොතපත නැවත නැවත මතකයට ගන්න හැකි නිස්කලංක වටපිටාවක තමයි අප හිරබත් කෑවේ. කියවූ දේවල් මතකයට නගාගෙන මා පුංචි මනෝ විද්‍යාත්මක, බුද්ධි වර්ධන ව්‍යායාම කරන්න පටන් ගත්තා. ඊට අදාළ ගවේෂණය කරන්න පටන් ගත්තා. දිනපතාම පාහේ මට කෑම අරන් හිරගෙදට එන මගේ බිරිඳ මාර්ගයෙන් මා පුංචි පැන්සල් කොටයක් ගෙන්වාගෙන තිබුණා. බත් ඔතාගෙන එන පත්තර කොළේ පරිස්සම් කරලා තියාගෙන මා අධ්‍යයනය කළ මනෝ විද්‍යාත්මක ‍පොත්වල තිබූ කාරණා අර පැන්සල් කොටෙන් අර බත් ඔතාගෙන ආපු පත්තර කොළවල සටහන් කළා. ඒවා බිරිඳ අතේ රහසිගතව ගෙදරට යැව්වා. බිරිඳ ඒවා සුරක්ෂිතව තැබුවා. මා මාස 8 දින 21 ක් රිමාන්ඩ් භාරයේ හිටියා. එහෙම ලියපු ඒවා තමයි මා හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ මුද්‍රණයෙන් එළිදැක්වූ “බුද්ධි වර්ධන ව්‍යායාම” ‍පොතට ඇතුළත් කළේ.

ඉතින් සිරමැදිරියෙන් අපිව මාරු කළේ අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ පුනරුත්ථාපන කඳවුරට. ඒ කඳවුරේ මාස දෙක තුනක් ඉන්නකොට තමයි පුනරුත්ථාපන කොමසාරිස්වරයා ලෙස මේජර් ජනරාල් ආනන්ද වීරසේකර මහතා පත්ව ආවේ අපේ හැකියාවන් හඳුනාගෙන. පෞද්ගලික ආරක්ෂක සමාගම් මාර්ගයෙන් ආරක්ෂක නිලධාරින් ලෙස අපට රැකියා දුන්නා. මාස දෙක තුනකට පස්සේ අලුත් අලුත් දේවල් කෙරෙහි මා තුළ තිබූ උනන්දුව, කැපවීම තේරුම්ගත් ආනන්ද වීරසේකර මහතා මාව ඔහුගේ කාර්යාලයේ සේවයට යොදවා ගත්තා. මේ කා‍ලේ මා ගණිත සිද්ධාන්ත පිළිබඳ මූලික ‍පොතපත කියෙව්වා. පුංචි පුංචි ගණිත ගැටලු නිර්මාණය කළා. ඒ කා‍ලේ “රන්දිව“ කියන පත්තරේ “සිරමැදිරියක දස්කම් පාන තරුණයා” නමින් මා ගැන ලිපියක් පළවුණා. ඒ ඔස්සේ දැන හඳුනාගන්නා අය සමග අදහස් හුවමාරු කර ගැනීම්වලින් මගේ ගණිත සහ මනෝ විද්‍යාත්මක දැනුම වර්ධනය වුණා. ඉන් පසු මා 1990 වසරේ ඔලිම්පියාඩ් ගණිත සංගමයේ සාමාජිකත්වය හිමිකර ගත්තා. මහාචාර්ය සමරනායක, මහාචාර්ය ඈපාසිංහ, ආචාර්ය රාමසිංහ වාගේ ප්‍රවීණයන් ඇසුරු කිරීමේ අවස්ථාව මටත් ලැබුණා. මේ විදියට මා ඉදිරිපත් කළ ගැටලු අතර බොහෝ අයට එකවර තේරුම් නොයන ගැටලුවක් තිබුණා.

මෙම ගැටලුව පිළිබඳ එදා මීට වසර නවයකට පෙර කළ ගවේෂණයේ දී මා එක්තරා තොරතුරුවල සංස්ක්ෂිප්තයයි. එය මෙසේ ය.
“16 වන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ ෆර්මා විනිශ්චයකාරවරයෙකි. ඔහුගේ විනෝදාශය වූයේ ගණිත ගැටලු නිර්මාණයයි. “ඇමචර්ලා” ලෙස හැඳින් වූ මෙවැනි අය තමන් නිර්මාණය කරන ගණිත ගැටලු වෘත්තීය ගණිතඥයන්ට ඉදිරිපත් කර විසඳන ලෙස අභියෝග කළේ ය. ෆාර්මාද එවැනි ගැටලු නිතර නිතර වෘත්තීය ගණිතඥයන්ට යොමු කළේ ය. ෆර්මා එකල සිටි අයිසැක් නිව්ටන්, පැස්කල්, ඉලර්, මර්සනස් වැනි ගණිතඥයන්ට මෙවැනි ගැටලු ෆර්මා නිතර යොමු කළේ ය. මෙය එම වෘත්තීය ගණිතඥයන්ට කෙතරම් හිසරදයක් වී ද යත් ඔවුන් ෆර්මා හැඳින්වූයේ “ප්‍රංශ පරයා” නමිනි.

මෙසේ ඉදිරිපත් කළ ගැටලු අතර අවසන් වතාවට ෆර්මා ඉදිරිපත් කළ ගැටලුව එදා මෙදා තුළ කිසිදු ගණිතඥයකුට විසඳීමට හැකි වී නැත. මෙය හඳුන්වා ඇත්තේ “ෆර්මාගේ අවසන් ප්‍රමේයය” නමිනි.

මේ ලෙස ඉතිහාසගත වූ මෙම ගණිත සිද්ධාන්ත ගැටලුව වැඩිම කාලයක් වැඩිම දෙනෙකු විසඳීමට උත්සාහ කළ ගණිත ගැටලුව ලෙසද ඉතිහාසගත වේ.

වෘත්තියෙන් බැංකු කරුවකු වූ ඇන්ගේ‍රා් බිල් මෙම ගණිත ගැටලුව විසඳන ගණිතඥයකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක් දෙන බව ප්‍රකාශයට පත් කළ අතර එයට වාර්ෂිකව ඩොලර් 500 බැගින් එක් වෙමින් එම ත්‍යාග මුදල වසරින් වසර වැඩි විය.

මෙම ගැටලුව විසඳීම සඳහා උත්සාහ කළ අය අතර, පුංචි අවදියේ සිටම ඔලිම්පියාඩ් ගණිත සංගමය තුළ මට මල් මෙන්ම ගල්ද ලැබුණා. සමහර දැන උගත් අය මගේ මේ හැකියාව හෑල්ලු කරමින් කතා කළා. සමහර අය දිරි දුන්නා. මේ කාරණා දෙකෙන්ම මා තවත තවත් සවිමත් වුණා.

මේ අතර විනෝදයට වාගේ මා විවිධ ගණිත සංඛ්‍යා සිද්ධාන්ත ප්‍රගුණ කළා. ගණිත ප්‍රහේළිකා නිර්මාණය කර සමාජගත කළා.

මේ ගණිත සිද්ධාන්ත මට හරිම ‍ලේසි වුණත් බොහෝ අයට තේරුම් ගන්න අසීරු වුණා. සමහර ආචාර්ය මහාචාර්යවරු පවා මින් මානසික ආතති තත්ත්වයට පත් වුණා. පත්තරයකින් මේ ගැටලු එළි දක්වන්න යෝජනා වූ අවස්ථාවක “‍ප්‍රොපෙසර්ලට තේරෙන්නෙත් නැති එකක්, කාට බලන්නද පත්තරේ දාන්නේ?” කියලා තමයි ඇහුවේ.

වසර තුන්සිය ගණනක් තිස්සේ නොවිසඳුණ “ෆර්මාගේ අවසන් ප්‍රමේයය” විසඳිය හැකි බවට අදහස් පළ වන්නට වූයේ මීට වසර නවයකට පෙර අප අනුරසිරි ගැන ලියද්දීය.

එකල මෙම පැහැදිලි කිරීම පරීක්ෂා කළ දිවංගත ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක්, “මෙය තේරුම් ගැනීමට තරම් දැනුමක් තමන් සතු නොවන බව කියා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ප්‍රවීණ ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයකු වෙත දැන්වීමට තරම් නිහතමානී වූ බව මෙහිලා සඳහන් කළ යුතුය. කෙසේ වුවද, අනුරසිරිගේ අවාසනාවට දෝ මේ පිළිබඳ සැලකිලිමත් වෙමින් සිටියදී එම මහාචාර්යවරයා මෙලොව හැර ගියේ ය. මේ පිළිබඳ එදා වසර නවයකට පෙර මා රිවිරට ලිවිමෙන් පසු රටේ ඉහළම තැන්වල රිවිරේ හෙළිදරව් කිරීමෙන් පසු මේ කුඹුරු කොටන ගණිතඥයා කොළඹ ගෙන්දගම් ‍පොළොවට පා තැබූවද, සිය ඉලක්කය කරා යන්නට අවස්ථා නොලද ඔහු නැවතත් ගමේ ගොස් කුඹුරු කොටන්නට පටන් ගත්තේ ය.

දැන් නැවතත් අනුරසිරිගේ සොයා ගැනීම ගැන අවධානය යොමු වෙමින් පවතී. අනුරසිරි මේ කියන්නේ ඒ ගැනය.
“පසුගිය කා‍ලේ මට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ‍ලේකම්වරයකු වන සරත් හේවගේ මහතා මුණ ගැසුණා. ඒ මහතා මගින් අමාත්‍යාංශ ‍ලේකම් ජයසිංහ මහතා හමුවුණා. ඔහු මාව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යොමු කළා. එහි උප කුලපති සම්පත් අමරතුංග මහතා මට මහාචාර්ය සුනේත්‍රා වීරකෝන් මහත්මිය මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. ඇය “අනුරසිරි ඔයා ළඟ යමක් තියෙනවා. අපි තවදුරටත් එය අධ්‍යයනය කරමු කියා” ආචාර්ය නලීන් ගනේගොඩ නම් තරුණ කථිකාචාර්යවරයා වෙත යොමු කළා. ඔහුට මා කියන දේ පැහැදිලි වුණා. මගේ මේ ගණිත සමීකරණයට අදාළව මට හමු වූ එකම විද්වතා ඔහුයි.

මට මේ පැහැදිලි කිරීම එක්තරා මහාචාර්යවරයකුට කරන්න පැය 4 1/2 ක් කාලය වැය වුණා. ඒ කාලය තුළ ඔහු හතරපස් වතාවක් නැගිටලා ටික වේලාවකින් නැවත එමින් තමයි ඒකට සවන් දුන්නේ.

ඒකට සවන් දේදදී එතුමාගේ හිස රිදෙන බවයි එතුමා මා සමග පැවසුවේ.ඒ මහාචාර්යවරයා කියා ඇති දේ සැබෑවකි. මෙම ප්‍රධාන සමීකරණය අනුරසිරි මට පැහැදිලි කරද්දී මගේ හිස ද කකියන්නට වූයේය. ඒ හිස කැක්කුම මෙම ලිපිය ලියන මොහොතේ ද මට ටික ටික දැනේ. එතරම් ගැඹුරු සමීකරණයක් අතිශයින්ම සරල බව අනුරසිරි කියයි. ඔහු කුඹුරු කොටන ගොවියකු පමණක් නොව මහා ගණිතඥයකු බව ද කියන්නට මම මැළි නොවෙමි.

“ඩොක්ටර් නලීන් තරුණයෙක්, හැකියාවෙන් හැදියාවෙන් පිරිපුන් කෙනෙක්. ඔහු මේ සමීකරණය තේරුම් ගත්තා. පස්සේ මේ සමීකරණය කෙරුවෙ ඔයාමද? කියලා හොයන්න ඕනෑ කිව්වා. මෙහෙම සමීක්ෂණයක් සමාජගත කරනකොට එයට අදාළ ඉතිහාසය කියන්න ඕනෑ. මතෛක් කර ඇති සොයා ගැනීම් අධ්‍යයනය කරන්න ඕනෑ. ඒ කියන්නේ මේක අනුරසිරිගේ එකක්ද නැත්නම් අනුරසිරි සොරකම් කළ එකක්ද කියලා හොයන්න ඕනෑ.

මේකට ඩොකර්ටර් නලීන්ට මාස කිහිපයක් ගත වුණා. ඔහු සෙවීමේ ප්‍රතිඵලය වුණේ මෙහෙම එකක් මතෛක් ඉදිරිපත් වෙලා නැහැ කියන එකයි. බිල් දාපු අභියෝගයට උත්තර අනුරසිරිගේ සිද්ධාන්ත ඔස්සේ ගණිතමය ප්‍රකාශයක් හදන්න පුළුවන් කියලා ඔහු මට කිව්වා.

දැන් තියෙන්නේ මේක ලියලා “රිසර්ච් ජර්නල්” එකට දාන්නයි. ලෝකයේ නව සොයා ගැනීම් පළකරන එවැනි සඟරාවල මෙහෙම පළ වුණාම ලෝක ගණිතඥයෝ එකතුවෙලා එහි ගුණදොස් විමසා බලනවා. මෙහෙම සනාථ කරගෙන අවුරුදු දෙක්ක් ගත වූ පසුවයි පිළිගත්තේ.

මා මේ සංඛ්‍යා සිද්ධාන්ත ගැටලුව හොයාගෙන අවුරුදු 25 ක්. මේ අවුරුදු 25 තුළ මට හමු වු එකම විද්වතා ඩොක්ටර් නලීන්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වීරකෝන් මහත්මිය ඇතුළු සියලු දෙනාට වගේම මේ සොයා ගැනීම ලෝකයට ගෙන යන්න අවුරුදු නවයක් තිස්සේ අත දෙන රිවිරට මා තුති පුදනවා.

ඩොලර් මිලියනයට වසරින් වසර ඩොලර් 500 බැගින් එක් වෙමින් කවදා හෝ ලෝකයේ කාට හෝ ලැබෙන මේ සුපිරි ත්‍යාගයේ හිමිකරුවා අනුරසිරි වුවහොත් එය තමාට පමණක් නොව රටටම හිමි ජාතික ත්‍යාගයක් බව අනුරසිරි පවසයි.

අලුත් දේ හොයන, අලුත් විධියට සිතත පතන අනුරසිරිගේ ජීවන ගමන් මගේ සහකාරිය 51 හැවිරිදි ආර්. එම්. හේමලතා මැණිකේය. වෙනත් බොහෝ සම්මත ස්වාමි පුරුෂයන්ගෙන් බැහැර වූ මේ අසම්මත අපූරු මිනිසා සමග දීග කන්නට තරම් විචාර බුද්ධියෙන් සපිරි මේ බිරින්දෑ අනුරසිරිගේ සිරගෙදර දිවියේ සිට මේ දක්වා දුක සැප සම සිතින් බෙදාහදා ගන්නා අපුරු බිරිඳකි. දෙදෙනාට දෙදෙනා අතිශයින්ම සුහදය. අනුරසිරි බිරිඳ අමතන්නේ “අනේ” කියා ය. බිරිඳ අනුරසිරි අමතන්නේ ද “අනේ” කියාය. මේ අකුරු දෙක තුළ ඇත්තේ එකිනෙකා හා බැඳුණු හරි අපූරු සෙනෙහසකි.
අනුරසිරිට පුතුන්ම තිදෙනෙකි. ලොකු පුතා ශීෂාන්ත විශ්‍ලේෂක රත්නායක (28), මද්දුම පුතා නිලාන් විශ්‍ලේෂක රත්නායක (23), බාල පුතු නිදර්ශන විශ්‍ලේෂක රත්නායක ය(18) මේ කොල්ලන් තිදෙනාට නම් තැබුවේ අනුරසිරිය. තුන්දෙනාම විශ්‍ලේෂකයන්ය. මින් ලොකු පතු ශිෂාන්ත විශ්‍ලේෂක ඉංග්‍රීසි භාෂාව උගන්වන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකි. අනුරසිරි ලියූ “බුද්ධි වර්ධන ව්‍යායාම” ‍පොතේ සඳහන් සියලු අභ්‍යාස පුංචි අවදියේ සිට ප්‍රගුණ කිරීමෙන් තමා අද සිටින තත්ත්වයට පත් වූ බව පුතා අදත් කියයි.

“බ්‍රිටිෂ් කවුන්සිල්” මගින් අඩුම වයසකදී ජාත්‍යන්තර මට්ටමේ වැඩිම විභාග ගණනක් සමත් වූ අතළොස්සක් අතරේ විශ්‍ලේෂක ද සිටී.

අනුරසිරි කයින් මෙන්ම සිතින්ද තරුණයෙකි. දිනපතා කිලෝ මීටර් 06 ක් දිවීමෙන් අනතුරුව ව්‍යායාමවල නිරත වීම ඔහුගේ දින චරියාවේ පළමු අංගයයි. මීට වසර දෙකකට පමණ පෙර මැරතන් ධාවනයට යොමු වූ අනුරසිරි එමගින් ද ජීවිතය ජය ගත්තෙකි.
ශ්‍රී ලංකාවේ දී පැවති ප්‍රථම මැරතන් ධාවන තරගයේ දීම මීටර් 5000 සහ 1500 යන ඉසව්වලින් ලෝකඩ පදක්කම් දිනා ගන්නට මට පුළුවන් වුණා. පසුගිය වසරේ දී මීටර් 5000 දුවලා රිදී පදක්කම් ගත්තා. ඉන්පසු මා ජාතික සංචිතයට තේරුණා. ඒ මගින් ප්‍රවීණයන්ගේ ආසියානු මලල ක්‍රීඩා තරගයට සහභාගිවෙන්න සිංගප්පූරුවට යන්න අවස්ථාව ලැබුණා. එම තරගාවලියේ දී මට තරග කරන්න වුණේ අවුරුදු 50-55 වයස් කාණ්ඩයේ තරගකරුවන් සමගයි. ඒ කියන්නේ වයසින් වැඩිම ක්‍රීඩකයා වුණේ මම. එහිදී මීටර් 5000, 11 වන ස්ථානය සහ මීටර් 1500, 12 වන ස්ථානය දිනා ගන්න මට පුළුවන් වුණා.

ලෝකයේ රටවල් 36 ක් සහභාගි වන එල්.එස්.ආර්. මැරතන් ධාවන තරගයේ 50 න් ඉහළ තරග කරලා කිලෝ මීටර් 42 ක් දුවලා වැඩිම වයස්ගත ක්‍රීඩකයා ලෙස තරග කරලා 4 වන ස්ථානය දිනා ගත්තා.

2017 චීනයට සහ කොරියාවට යන්න අවස්ථාව පෑදිලා තියෙනවා. මැරතන් තරගවලට මේ සැරේ මට තරග කරන්න තියෙන්නේ නියමිත වයස් කාණ්ඩයේ වයසින් අඩුම ක්‍රීඩකයා හැටියට මෙවර මා අයත්වන්නේ 55-60 වයස් කාණ්ඩයට. මේ නිසා මා මේ තරගාවලීන්හි දී රන්, රිදී, ලෝකඩ කියන පදක්කම් තුනෙන් එක්කවත් ලංකාවට අරන් එනවාමයි.ඒ ඔහුගේ අපේක්ෂාවයි.

සටහන හා ඡායාරූප
සුනිල් ‍පොරමඬල
s.pormadala@gmail.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top