Local

” ට්‍රැෆික් අඩු කරන්න ගුවන් පාලම විවෘත වෙද්දී , වියලි ගම්බිම් සරු කරන්න මොරගහකන්ද රන්දියවර ගලා යයි ” ජනවාරී අට ජාතියට දයාද වූ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම .! (Photos)

ජනවාරි අට දින වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විශේෂය. එනම් තමන් බලයට පැමිණි ජනාධිපතිවරණය පැවැත්වූයේද 2015 ජනවාරී මස අට වෙනිදා නිසාය. ඉන් වසර තුනක් ගත වූ පසු එළබී ඊයේ දිනය , කාලයක් තිස්සේම සෑදෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති දෙකක් විවෘත කිරීමට ජනපතිවරයා තෝරා ගත්තේ ඒ නිසා විය හැක.

මේ අනුව ශ්‍රී ලාංකේය වාරි ක්‍ෂේත්‍රයට නව පිටුවක්‌ සනිටුහන් කළ මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමේ “රන්දියවර” මංගල්‍යයද එලෙසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (08 වැනිදා) උදැසන සිදු කෙරිණි.

ඊයේ පෙරවරු 11.20 ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මංගල දියවර මුදා හරිමින් මෙම සුවිශාල බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට තිළිණ කෙරිණි. සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් භාර ගැනීම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී සිදු කරන ලදී. මොරගහකන්ද වේල්ල පරිශ්‍රයේ පිහිටුවා තිබූ සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් එය සනිටුහන් කළේය.

මොරගහකන්ද ජලාශය ජාතියට තිළිණ කිරීමෙන් පසු මෙගාවොට්‌ 25 ක ධාරිතාවකින් යුතු විදුලි බලයක්‌ රටට එකතු කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරය විවෘත කිරීමද ජනාධිපතිවරයා සිදු කළේය.

අක්‌කර අඩි හයලක්‌ෂ හැටදහසක ධාරිතාවකින් යුත් මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 557.5 ක්‌ වැය කර ඇත. ඉහළ ඇළහැර සිට මහකනදරාව දක්‌වාත් ඇළහැර සිට කන්තලේ දක්‌වාත් හෙක්‌ටයාර් 82000 ක්‌ වගා කිරීමට එමගින් ජලය සැපයෙන අතර ඉන් පවුල් එක්‌ලක්‌ෂ තිස්‌හය දහසක්‌ ප්‍රතිලාභ අත්කර ගනිති. එසේම වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මාතලේ සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල හෙක්‌ටයාර් 12500 ක්‌ අස්‌වැද්දීමට පවුල් දහතුන් දහස්‌ පන්සියකට එමගින් අවස්‌ථාව උදා වෙයි. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක වෙත පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීමත්, වකුගඩු ආසාදනයෙන් පීඩාවට පත් ජනතාවටත් එමගින් සෙත සැපයෙනු ඇත.

එමෙන්ම දීර්ඝ කාලයක්‌ පුරා මගී ජනතාව අපහසුතාවට පත් කරමින් රාජගිරියේ පැවැති දැඩි වාහන තදබදයට විසඳුමක්‌ ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

ස්‌පාඤ්ඤ සමාගමක්‌ සහ දේශීය සමාගමක්‌ එක්‌ව මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක්‌ වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක්‌ ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක්‌ සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක්‌ මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක්‌ සහිතව සංවර්ධනය කෙරේ.

මෙහිදි ජනපතිවරයා කියා සිටියේ ජනවාරි 08 උදාර විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක්‌ වන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top