Local

ඩෙංගු මදුරුවා නැතිකළ කෝටිපති පවුලක සතුට

දරුවෙකුගේ වියෝ දුක වඩාත් තදින් දැනෙන්නේ මවට සහ පියාට යෑයි කිවහොත් එය නිවැරදිය.මවකගේ වියෝවෙහි වේදනාව, දුක වඩා වැඩි දරුවන්ට බවද අමුතුවෙන් කිව යුතු නැත. එම දුක්‌මුසු මොහොත එකම මළගමකදී පසුගියදා දැස්‌ අබිමුව දිස්‌ වුණේ බොහෝ දෙනාගේ සිත් සසල කරවමිනි.

උතුරා යන දරු සෙනෙහස වෙනුවෙන් දෝරේ ගලා යන කඳුළුත් මව අහිමි වූ දුකට හඬන සිඟිති දරු පැටවුන් දෙදෙනකුගේ විලාපයත් දෝංකාර දෙමින් ඇසුණේ පොළොන්නරුවේ ගිරිතලේ වෑකන්ද පාමුලින්ය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකුද වන සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය සිය දිවි මගෙහි 35 වැනි වියට එළැඹ සිටියදී කිසිවෙකුත් අපේක්‌ෂා නොකළ පරිදි මරු තුරුලට ගොස්‌ සිටියේ ඩෙංගු මාරයාට ගොදුරු වීමෙනි.

සිරිපාල ගම්ලත් මහතා සහ එම මහත්මියගේ පවුලේ දරුවෝ තිදෙනෙකි. වැඩිමලා සහ බාලයා පිරිමි දරුවන් වන අතර එකම ගැහැනු දරුවා රංජලා වූවාය.

ඇය මූලික පාසල් අධ්‍යාපනය ලද්දේ මහනුවර මහමායා බාලිකා විදුහලෙනි. ඉන් අනතුරුව ඔස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් සහ ඩීකින් යන විශ්වවිද්‍යාලවලින් උසස්‌ අධ්‍යාපනය හදාරා තිබේ. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන ඇය යළි සිය රට පැමිණීමෙන් පසුව විවාහ දිවියට එළැඹ සිටියේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන උදිත ඉලේපෙරුම මහතා සමඟය. ඉන් අනතුරුව රංජලා ගම්ලත් මහත්මියද එම ව්‍යාපාරික සමාගමේ අධ්‍යක්‌ෂවරියක වූවාය.

සංචාරක හෝටල් කර්මාන්තය සහ සුපිරි නිවාස පරිහරණය කරනු ලබන ගෘහ භාණ්‌ඩ පිටරටින් ගෙන්වා අලෙවි කරන ගෘහ භාණ්‌ඩ වෙළඳාම ඔවුන්ගේ මූලික ව්‍යාපාර අංග බව දැනගන්නට ලැබිණි.

ඩෙංගු රෝගී තත්ත්වය උත්සන්නව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රංජලා ගම්ලත් මහත්මිය සිය දිවි ගමන නිමා කළේ ඉකුත් 16 වැනි දින අලුයම් කාලයේ බව කියති.

ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට කොතෙක්‌ වෙර දැරුවද සියල්ල නිෂ්ඵල වී මාරයා ජය අත් කරගෙන තිබේ.

ඇයගේ මෙම අකල් වියෝවේ වඩාත් දුක්‌මුසු කාරණය වන්නේ ඇගේ දරුවන් දෙදෙනා ඉතාමත් ළබාල වයස්‌වල පසු වීමයි.

වැඩිමහල් දියණිය ආයූ ඉලේපෙරුමගේ වයස අවුරුදු පහකි. ඇය කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක පළමුවැනි ශේ්‍රණියට ඇතුළත් කර ඇත්තේ මෙයට සතියකට පමණ ඉහතදීය. තුන් හැවිරිදි පුතා කායි ඉලේපෙරුම තවමත් අම්මාගේ උණුසුම සොයයි. මේ දරු සිඟිත්තන් දෙදෙනාට මුළු ජීවිත කාලය පුරාවටම අම්මා නොමැති අඩුව පුරවන්නේ කවුරුන්දැයි නැඟෙන පැනයට කිසිවෙකුටත් පිළිතුරක්‌ නැත.

තම පවුලේ එකම දියණියට අත්වූ දුක්‌මුසු ඉරණම පිළිබඳව සිරිපාල ගම්ලත් මහතාටත් එම මහත්මියටත් අදහා ගත නොහැකි තරම්ය.

දැස්‌ දිය වගුරා විලාප නඟනු හැර අන් දෙයක්‌ කිරීමට දැන් ඔවුන්ට ඉතිරිව නැත. රංජලාගේ දෙසෝවුරන් සහ ආදරණීය සැමියාද ඒ පරිද්දෙනි. ඔවුහුද ළයෙහි උපන් ශෝකය වාවා ගත නොහැකිව පසු වෙති.

අභාවප්‍රාප්ත රංජලා ගම්ලත් මහත්මියගේ නිසල දේහය කොළඹ සිට පොළොන්නරුවේ ගිරිතලේ පිහිටි ගම්ලත් පවුලේ නිවස වෙත රැගෙන එන ලද්දේ ඉකුත් 16 වැනි දින පස්‌වරුවේය. එම මොහොතේ පටන් ප්‍රදේශයේ මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජක තුමන්ලා මෙන්ම මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් මහජනතාව විවිධ තරාතිරම්හි පිරිස්‌ එම නිවස වෙත ඇදී ආවේ වැල නොකැඩීය.

සිරිපාල ගම්ලත් මහතා කෘතහස්‌ත දේශපාලනඥයකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයකුද වීම නිසා ඔහුගේ දියණියගේ අවමඟුලට මෙලෙස විශාල ජන ගඟක්‌ ගැලූ බවට කිසිදු සැකයක්‌ නැත.

පසුගිය කාල වකවානුව තුළ අපේ රටේ අගනා මිනිස්‌ ජීවිත රාශියක්‌ මේ අන්දමට ඩෙංගු මාරයාට බිලි වූ බව අපි දනිමු. පුද්ගල තරාතිරම්, වත් පොහොසත්කම් ඩෙංගු මදුරුවාට සීමා මායිම් නොවන බවද අප කවුරුත් සිත්හි තබා ගත යුතු කාරණයකි. නොඑසේ නම් කෝටිපති ව්‍යාපාරික පවුලක දියණියක, ව්‍යාපාරික සමාගමක අධ්‍යක්‌ෂවරියක වන රංජලා ගම්ලත් මහත්මියට ඩෙංගු මරයාගෙන් බේරෙන්නට හැකියාව තිබුණි. එසේ නොහැකි වූයේ සැබෑවටම ඩෙංගු මාරාන්තිකයි යන්න යථාර්ථයක්‌ කරමිනි. එහෙයින් දිව මතුරක්‌ සේ අප නිරතුරුව මතකයෙහි රැඳවිය යුත්තේද ඩෙංගු මාරාන්තිකයි යන්නමය. එපමණක්‌ නොව ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන ඇති නොවීමට අප වෙසෙන පරිසරය නිර්මාණය කිරීම වැනි සමාජ යුතුකම්ද නිරන්තරයෙන් අප වෙත පැවරී තිබේ. තවද ඩෙංගු උණ රෝගය යනු සාමාන්‍ය උණක්‌ සේ නොසලකා නිසි පරීක්‌ෂාවකට ලක්‌ කර ගැනීමත් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමත් තුළින් ඩෙංගු මාරයා පිටුදැකීමට අපට ඉඩ ප්‍රස්‌ථාව සැලසෙනු ඇති යන්න අපගේ විශ්වාසයයි.

එවන් පෙර ගමන් ඇරඹුමක්‌ තුළින් මෙවැනි අකල් මරණ උදෙසා අපගේ දැස්‌ කෙවෙනි තුළ කඳුළු බිඳු අලුත් වන්නට ඉඩ නොදී ඊට තිතක්‌ තබන්නට වෑයම් කරමු.

කරුණාරත්න ගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top