Entertainment

දැවෙන විහඟුන් සම්මානනීය වීම ගැන අනෝමා නැඟූ චෝදනා වලට සංජීවගෙන් උත්තර (Photos)

සිනමාකරුවෙක් ලෙස මෙවන් සටහනක් ලිවීමට මා කිසිසේත්ම අදහස් නොකළත් රංගන ශිල්පිනි අනෝමා ජනාදරිගේ ශික්ෂණයකින් තොර අවරගණයේ ප්‍රකාශ සහ හැසිරීම් හේතුවෙන් මෙම සටහන පළ කළ යුතු බවට මා තීරණය කළා.

අනෝමා ජනාදරි මහත්මියට දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවරදී හිමිවුණු සම්මානය පිළිබඳව මෙරට මාධ්‍යයට ඇය පළ කර තිබෙන අදහස් ඇය සිනමාව පිළිබඳවත් සිනමා කර්මාන්තයේ ලෝක හැඩතලය පිළිබඳවත් තමන් තුළ ඇති නොමේරූ අල්ප දැනුම ඉතාම අශිෂ්ට ලෙස පෙන්වා තිබෙනවා. අනෝමා ජනාදරි මහත්මිය ඇයට ලොස් ඇන්ජලීස් නුවරට යෑමට තිබූ අවස්ථාව මා වැළැක්වූවා වැනි අදහස් පසුගිය දින කිහිපයේ ප්‍රකාශ කර තිබේ. ලෝකයේ පවතින සිනමා උළෙල අති බහුතරයක් තම සිනමා උළෙලවලට ආරාධනා කරන්නේ අධ්‍යක්ෂවරයාට පමණි. අධ්‍යක්ෂවරයාට වුව සම්මාන උළෙලවල් බොහෝමයක් ලබා දෙන්නේ සීමිත දින ගණනක නවාතැන් පහසුකම් පමණි.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික සිනමා උළෙලක අවසන් තීරණ ගනු ලබන්නේ සම්මාන උළෙලට පෙර දින හෝ සම්මාන උළෙල පැවැත්වෙන දින උදෑසනයි. එසේම බොහෝ අවස්ථාවල සිනමා සම්මාන උළෙලට පෙර චිත්‍රපටයට සම්මානයක් තිබෙන බව සංවිධායකයන් ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණද සම්මානය කුමක්ද කියා බොහෝ අවස්ථාවල නොකියයි. මා මෙතෙක් සම්මාන ලැබූ කිසිම උළෙලක, කල් ඇතිව සම්මානය කුමක්දැයි මා හටවත් කියා නැත. අනෝමා ජනාදරි මහත්මියට මේ කරුණු ගැන අවබෝධයක් නොමැත.

අනෝමා ජනාදරී 2017.11.06 දින එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඇයට මීට පෙර ලැබීමට තිබුණු සම්මාන මා වළකා ඇති බවත් අධ්‍යක්ෂවරයාට පමණක් සම්මාන ලබාදෙන සිනමා උළෙලවලට පමණක් මා අයැදුම් කර ඇති බවටත් චෝදනා කර තිබේ. ඇය මෙවන් ප්‍රකාශ කරන්නේ කෙසේද කියාවත් මට සිතා ගත නොහැකිය.
සිනමා උළෙලවල් යනු චිත්‍රපටයට ආදායම් ලැබෙන තවත් එක් මාර්ගයකි. මගේ සිනමා කෘතිය අන්තර්ජාතිකව හසුරුවන්නේ ලන්ඩනයේ පිහිටි ෆිල්ම් රිපබ්ලික් ආයතනය විසිනි. ඔවුන් සෑම සිනමා උළෙලකටම පාහේ චිත්‍රපටය යෝජනා කරයි. එහිදී ඇතැම් සිනමා උළෙලවලින් චිත්‍රපටයට ආරාධනා කරන අතර ඇතැම් උළෙල විසින් ප්‍රතික්ෂේප කරයි. කිසි විටෙක චිත්‍රපටයේ අධ්‍යක්ෂකට හෝ වෙනත් අයකුට සිනමා උළෙලේ අපගේ චිත්‍රපටය තිබිය යුතු අංශය තීරණය කළ නොහැකිය. එය තීරණය කරන්නේ සිනමා උළෙල විසිනි. ඇතැම් විට තරගකාරි අංශයට ආරාධනා කරන අතර ඇතැම් සිනමා උළෙලවල් තරගකාරි නොවන අංශවලට ආරාධනා කරයි. ලෝකයේ බොහෝ සිනමා උළෙලවල හොඳම සිනමා කෘතිය සහ ජූරීයේ සම්මාන හැර වෙනත් සම්මාන ප්‍රදාන කරන්නේ නැත. දැවෙන විහඟුන් චිත්‍රපටයට ආරාධනා ලැබුණු බොහෝ සිනමා උළෙලවල්වලදී ප්‍රදානය කර තිබෙන්නේ ඉහත සම්මාන පමණි. තමන්ගේ සිනමා කෘතියේ කාට සම්මාන ලැබුණත් එම සම්මානවල ගෞරවය කවුරු කැමැති වුණත් නැතත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට හිමිවේ. එම සම්මානවලින් බැබළෙන්නෙ සිනමා කෘතියයි. මේ සියල්ලෙන් පෙනෙන්නේ අනෝමා ජනාදරි සම්මාන අපේක්ෂාවෙන්ම මෙම චරිතය කර ඇති බවයි තමන්ගේ නිර්මාණයක් අගය කිරීමට ලක්වේ නම් එය ඉතාම වටියි. මා කිසි චිත්‍රපටයක් සම්මාන අපේක්ෂාවෙන් කර නැත. හොඳ චිත්‍රපටයක් කිරීමේ අරමුණින් එය කළේය. පෙර සඳහන් කළ පරිදිම සිනමා උළෙලවලට චිත්‍රපට ඉදිරිපත් කිරීමෙන් කිසියම් ආදායමක් චිත්‍රපටයට ලැබේ. එසේම සම්මාන හෝ හොඳ සිනමා උළෙලවලට චිත්‍රපටය තේරීම මඟින් අපට වෙනත් රටවල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා බෙදාහරින්නන් (ච්ඪඵබපඪඡභබධපඵ) සොයා ගැනීම පහසු වෙයි.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයට මා ආරාධනා කළ පළමු නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියයි. දෙවනුව චාන්දනී සෙනෙවිරත්න මහත්මියයි. පෞද්ගලික හේතු නිසා ඔවුන් දෙදෙනාම මෙම චරිතය සඳහා මට යොදා ගැනීමට නොහැකි විය. ඉක්බිතිව මා ආරාධනා කළේ අනෝමා ජනාදරි මහත්මියටයි. ඇය එක හෙළාම කුසුම්ගේ චරිතය කිරීමට කැමැති විය. දැන් අනෝමා ජනාදරි වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නිළියන් පවා අනෝමා ජනාදරි මෙම චරිතයට නොගන්න ලෙස පවසා සිටියා. එහෙත් මා ඇය සමඟ වැඩ කිරීමට දුන් වාචික එකඟතාව නොබිඳීමට තීරණය කළා. එසේ වුවත් දින කිහිපයක් ගතවූ පසු ඇයගේ ඉල්ලීම් ඉහළ යන්න පටන් ගත්තා. ඇයගේ හැසිරීම්වල වෙනස්වීම් මට දරා ගත නොහැකි වුණා. ඇය මුදලින් ලක්ෂ 20ක් සහ රක්ෂණ ආවරණයක් සහ විශේෂ ගිවිසුමක් ඉදිරිපත් කළා. ඇයගේ එම ඉල්ලීම් පිළිගත නොහැකි බව පවසා මා ඇය සිනමා කෘතියෙන් ඉවත් කරනු ලැබුවා. චිත්‍රපටයේ කටයුතු ටික කලකට නවතා දමන බවටත් මම ඇයට දන්වා සිටියා. වැඩිහිටි ගෞරව සම්පන්න රංගවේදිනියන්ට ඇහුම්කන් දීමක් ලෙස නැවතත් අනෝමා ජනාදරි මෙම චිත්‍රපටයට ගත්තේ මා ඉදිරිපත් කරන ගිවිසුමට අනුව වැඩ කිරීමට ඇය එකඟවීමෙන් පසුවයි. අද අනෝමා ජනාදරි ලබන ගෞරවයෙන් කිසියම් ප්‍රමාණයක් කෞෂල්‍යා ප්‍රනාන්දු සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මීන්ටද හිමි විය යුතුවන්නේ මේ නිසයි.

පසුගිය කාලය පුරාම මා ඇයට මුදල් නොගෙවූ බවට දිගටම අපහාස කළත් මා නිහඬව සිටියේ ඇයට පිළිතුරු දීම අර්ථයක් නැති දෙයක් ලෙස සිතාය.
අනෝමා ජනාදරි මහත්මිය සහ මා අතර තිබෙන ගිවිසුමට අනුව කුසුම්ගේ චරිතය සඳහා ගාස්තුව වූයේ ලක්ෂ පහළොවකි. එම මුදල් අවස්ථා 3ක් යටතේ ගෙවීමට පොරොන්දු විය. අනෝමා ජනාදරි චිත්‍රපටය නිමාවීමටත් පෙර රුපියල් 3,75,000 මුදලක් ලබා ගත්තේ ගිවිසුමට අනුව නියමිත කාලයට ගෙවිය යුතු මුදලටත් වඩා රුපියල් 50,000 වැඩිපුර ලබා ගැනීමෙනි. ඇය මුදල් අතට දෙනතුරු අවසන් දර්ශනය රූගත කිරීමට පවා පැමිණියේ නැත. මා මෙම චිත්‍රපටය රූපගත කළේ ඉතාම දුෂ්කරතා මධ්‍යයේය.
විවිධ හේතු පවසමින් ඇය දින ගණනාවක් රූපගත කිරීම්වලට නොපැමිණියේය. ඇතැම්විට දර්ශන තලයට පැමිණියේ ප්‍රමාද වීමෙනි. මේ තත්ත්වය යටතේ නිෂ්පාදකවරයා ලෙසත් මට ලක්‍ෂ ගණනක අමතර වියදමක් දැරීමට සිදුවිය. කෙතරම් බාධක හා අපහසුතා පැමිණියද කිසිවිටෙක නිෂ්පාදනය අතරමග නවතා දැමීම මගේ ස්වභාවය නොවන නිසා රූගත කිරීම් හැකි උපරිම අයුරින් නිමා කළේය. පසුව හඬ කැවීම සඳහා පැමිණෙන ලෙස ඇයට පැවැසුවද ඇය ඒ සඳහා රුපියල් ලක්‍ෂ 20ක් ගෙවන ලෙස ඉල්ලා සිටියාය. අවසානයේ වෙනත් ශිල්පිනියක් යොදා හඬ කැවීමට සිදුවිය. ආදේශක ශිල්පීන්ට සහ හඬ කැවීම් ශිල්පිනියන්ට තවත් අමතර මුදලක් ගෙවීමට නිෂ්පාදක ලෙස මට සිදුවිය.

අද චිත්‍රපටය දකින ජාත්‍යන්තර ප්‍රජාව සිතා සිටින්නේ කුසුම්ගේ චරිතයේ ඔවුන් දකින සියල්ලම සිදුකරන්නේ අනෝමා ජනාදරී බවයි. මා කිසිවිටෙක එසේ නොවන බව කියන්නේ ද නැත. අවශ්‍ය නම් විචාරකයන්ට මෙන්ම ලොස් ඇන්ජලීස් නුවරදී ජූරියට පවා ඒ බව ප්‍රකාශ කිරීමට තිබිණි. අනෝමා ජනාදරී පෙනී සිටිය යුතු ඇතැම් දර්ශන ආදේශක රංගන ශිල්පිනියන් සිදුකර ඇති බවත් අනෝමා ජනාදරී වෙනුවට වෙන අයකු හඬ කවා ඇති බවත් ජූරිය දැන ගත්තේ නම් ඇයට මෙම සම්මානය නොලැබෙන්නට ද තිබිණි.

මා හැම විටම අන්තර්ජාතික වශයෙන් ලැබෙන තෑගි සම්මාන මා සමඟ වැඩකළ ශිල්පීන් සමඟ බෙදා ගනු ලබයි. එය මා ඉගිල්ලෙන මාළුවෝ සිට පවත්වාගෙන එන සිරිතකි. මා සමඟ වැඩ කළ පහළම සේවකයාගේ සිට සියලුම දෙනා ඒ බැව් දනී. පසුගියදා මට ජිනීවා හිදී ලැබුණු මුදල් ත්‍යාගය පවා හැකි හැම දෙනාටම බෙදා දුන්නේය. අනෝමා ජනාදරී ඒ වන විටත් මට අපහාස කරමින් සිටියද ඇයටත් එම ත්‍යාගයෙන් රුපියල් 20,000ක මුදලක් ලබා දුන්නේය.

දැවෙන විහඟුන් යනු එක් නිළියකගේ දායකත්වයෙන් නිර්මාණය වුණු කෘතියක් නොවේ. එය නළු නිළියන් ගණනාවකගේ සහ කාර්මික ශිල්පීන්ගේද නිෂ්පාදන කණ්ඩායමේද කැපවීමෙන් හා දායකත්වයෙන් නිමවුණු කෘතියකි.

සංජිව පුෂ්පකුමාර – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top