Sports

“පරණදේවල් මතක් කරලා දුන්නේ තිලාන්” ඇන්ජලෝ මැතිව්ස් ප්‍රේක්ෂකයන්ට කල චෝදනාව මෙන්න (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ දක්වා පැවති තරඟ දෙස බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන සතුටු වනවාට වඩා දුක් වන්නට ඇති හේතු කාරනා වැඩි වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ කලක් තරඟ දිනවන්නා බවට පත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් නැවත ලකුණු අතරට පැමිණීම සහ පන්දු යවන්නෙකු ලෙස එක්දින තරඟවල කටයුතු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් මේ තරඟාවලියේ දක්නට ලැබුන ධනාත්මක ලක්ෂණයකි.

ටෙස්ට් තරඟාවලියේ ශතකයක් ලබාගත් මැතිව්ස් එක්දින තරඟාවලියේද ශතකයක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.මැතිව්ස්ගේ මෙම වර්ධනය සම්බන්ධයෙන් අයිලන්ඩ් පුවත්පත වෙනුවෙන් රෙක්ස් ක්ලයිමන්ට් පැවැත්වූ සාකච්චාවකදී මැතිව්ස් කරුණු රැසක් ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු සංචාරයේ තම පිතිහරම්භයේ ඇතිවූ වෙනස ගැන මැතිව්ස් පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතාට ස්තුතිය පළකර ඇත,

“මම ගොඩක් මහන්සියෙන් පුහුණුවීම් කළා,මට ලොකු සහයක් පිතිකරණ පුහුණුකරු තිලාන්ගෙන් ලැබුනා,මගේ ක්‍රිකට් හොඳම කාලයේ දේවල් ගොඩක් තිලාන් තමයි මට මතක් කරලා දුන්නේ,ඇත්තටම මේ සාර්ථකත්වයේ ගෞරවය තිලාන්ට යන්න ඕන.මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා සාර්ථකව කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් කරන්න.”

2014 වසරේ ලෝකයේ දෙවන ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්වෙමින් සංගාට පමණක් දෙවැනි වූ මැතිව්ස් 2015 වර්ෂයේද හොඳින් දක්ෂතා පෙන්වීමට සමත් විය.කෙසේ වෙතත් ඉන් පසුව ඔහුගේ දක්ෂතා වල පැහැදිලි අඩුවීමත් දැකගත හැකි විය.

“මම තිලාන් එක්ක ගොඩක් කතා කළා 2015 ඉඳල මගේ මොනවද වුන අඩුපාඩු කියල,එතැනදී තිලාන් පරණ වීඩියෝ එක්ක මට ලොකු පාඩමක් කියල දුන්න.මම හිතන්නේ අමාරු දිල්ලි තරඟයේදී ඒ දේවල් මට ගොඩක් උදව් වුනා ශතකය ලබා ගන්න.මම පිතිහරම්භයේදී ඉස්සරහ කකුලට බරවෙලා ඉන්න එක නිසා මට පන්දුවට යන්න වෙලාව අඩු ප්‍රශ්නයක් තිබුනා,ඒ සමබරතාව හදා ගැනීම වගේ පොඩි දේවල් වල වෙනස එක්ක ලොකු ප්‍රතිපලයක් ලැබුන කියල මම හිතන්නේ.”

ඉන්දීය සංචාරයේ නිරෝෂන් දික්වැල්ල ඇතුළු බොහෝ පිතිකරුවන් දැවී ගිය ස්වීප් පහර පිළිබඳවද මැතිව්ස් මෙහිදී තම අදහස් දක්වා තිබිණි.

“ස්වීප් පහර තීරණය වෙන්නේ තණතිල්ලේ හැසිරීමත් එක්ක.ඒ පහර අනවශ්‍ය පහරක් කියන්න බෑ,2015 ඉන්දියාව ලංකාවට ආපු වෙලාවේ මම ගත්ත ශතක දෙකේ ස්වීප් පහරින් ගත්ත ලකුණු ගොඩක් තිබුනා.හැබැයි ස්වීප් පහරට ගියාම මග නවත්වන්න බෑ,මට මේ දේවල් ගැන ගොඩක් දේවල් මම A කණ්ඩායමේ ඉද්දි අපේ පුහුණුකරු හිටපු චන්දික හතුරුසිංහ කියල දුන්න,ඒ වගේම මේ සංචාරයේ දඟ නොකවෙන තණතිලි වල ස්වීප් පහර අවශය නෑ කියන දෙයත් ඔහු මට කිව්වා.”

පසුගිය වසර දෙකක කාලය තමාට අමාරු කාලයක් වූ බවද ඇතැම් අවස්ථාවල සමහර ප්‍රේක්‍ෂකයන්ගෙන් අසාධාරණ චෝදනාවන් අසන්නට ලැබුන බවද මැතිව්ස් මෙම හමුවේදී පවසා තිබිණි.

“ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ කාල වගේම නරක කාලත් තියනවා.මම හැම වෙලාවේම බලන්නේ මට පුළුවන් උපරිමය දෙන්න.හැබැයි සමහර අවසථාවල අසාර්ථක වෙන්න පුළුවන්,ඒ වගේ වෙලාවට සමහර අයගෙන් චෝදනා එනවා මගේ ආකල්ප වෙනස් වෙලා කියල.හැබැයි මගේ හිතට එකඟව මගේ ආකල්ප කිසිම දවසක වෙනස් වෙලා නෑ.හොඳම දේ දෙනවා කියන එක තමයි මගේ එකම ආකල්පය.හැබැයි හොඳම දේ දෙන්න බැරි වෙන කාල එනවා ,ඒ ක්‍රිකට් වල හැටි.”

ඉන්දීය සංචාරයේ පන්දු යවන්නෙකු ලෙස එක්දින තරඟ වල පන්දු යැවූ මැතිව්ස් තමාට අපහසුවකින් තොරව පන්දුවාර 7ක් යැවීමේ හැකියාව තිබුන බවද පවසා ඇත.

“මට පන්දුවාර හතක් අපහසුවක් නැතුව යවන්න පුළුවන් කම තිබුනා,නායකයා තමයි තීරණය කරන්න ඕන මගෙන් පන්දුවාර කීයක් ගන්නවද කියල.ඊළඟ සංචාරයේදී මම පන්දුවාර 10 ම යවන්න බලාපොරොත්තු වෙනවා.පහුගිය කාලේ මට ආපු ආභාද එක්ක ලැබුන උපදෙස් වලට අනුව ක්‍රීඩා කරන්න අවස්තාව හදල දීපු එකට තේරීම් කමිටුවට ස්තුති කරන්න ඕන”

අවසාන වශයෙන් මැතිව්ස් පවසා ඇත්තේ සංගා මහේල ,දිල්ශාන් නැතිවීමේ හිඩැස මේ වනවිට පිරවෙමින් තිබෙන බවය.

“ඇත්තටම අපේ කණ්ඩායමට ක්‍රීඩා කරපු,සංගා,මහේල,දිල්ෂාන්,තිලාන් වගේ අය කණ්ඩායමෙන් ගියාම එතන ලොකු හිඩැසක් හැදුන,ඒ වගේ පාඩුවක් එකපාර හදාගන්න බෑ,මම හිතන්නේ දැන් ගොඩක් දුරට අපේ ටෙස්ට් කණ්ඩායමේ ඉන්න පළපුරුදු ක්‍රීඩකයෝ ස්ථාවර වෙමින් ඉන්නේ.ඒත් එක්ක අපිට ක්‍රිකට් වලින් නැතිවුණ දේ නැවත ගන්න සටනක් එක්ක තමයි ඉන්නේ.”

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හොඳ සේවයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කර ඇති මැතිව්ස්ට තවත් කාලයක් මෙම සාර්ථකත්වය සමඟ ක්‍රීඩා කිරීමට හැකිවේවා යන්න අපගේ පැතුමය.

උපුටා ගැනීම-cricketlanka.net

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top