Sports

පිත්ත අතට ගත් ශ්‍රී ලංකාවට සහ බංගලාදේශ පිතිකරුවන්ට නොසිතූ ඉරණමක්! (Video)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින වන අද (8 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියේය.

තේ පානය සඳහා තරගය නතර කිරීමට පෙර ක්‍රියාත්මක වූ ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 20 ක් ලබා සිටි අකිල ධනංජය දවාගැනීමට මුස්තෆිසුර් රෙහෙමාන් සමත් වූ අතර ඒ වන විට අනෙක් අන්තයේ රැදී සිටි රොෂේන් සිල්වා නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය.

හයේ පහරකින් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස්ට දිවා ආහාරයෙන් අනතරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව නොලැබිණ. අබ්දුර් රසාක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විය ඔහු සිය ඉනිම හතරේ පහර 10 කින් සරසා තිබිණ.

මෙන්ඩිස්ගේ දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වන විට නිරෝෂන් දික්වැල්ලටද (01) ආපසු ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවූයේ තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.

එතැන් පටන් ඩිල්රුවන් පෙරේරා (31) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක්ද, අකිල ධනංජය (20) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක්ද එක් කළ රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණයට අභියෝග කළ බංග්ලාදේශ පන්දු යවන්නෝ දිවා ආහාරයට පෙර චන්දිමාල්ද ඇතුලුව පිතිකරුවන් සිවු දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූහ.

වසර 4 කට ආසන්න කාලයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව සිටින වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක්, දිවා ආහාරයට පෙර බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට සමත් විය. රසාක්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට තැත්කළ අවස්ථාවේදී දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.

ඉන් නොනැවතුන රසාක්, පිට පිට පන්දු 2 කදී ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයට ඇද දැමුවේය. මුහුණදුන් පළමු පන්දුවම කඩුල්ලේ දැවටීම නිසා චන්මාල්ට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනුෂ්ක ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

පළමු ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් (173) ලබාගත් ධනංජය ද සිල්වාට මෙම තරගයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට තයිජුල් ඉස්ලාම් ඉඩක් ලබා නොදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් ලබා සිටියදී සබීර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.

මෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගය වන අතර මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී ඇති ඔහු, එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top