Sports

පිතිකරුවන්ගේ ඉවසීම පරීක්ෂාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26දා) දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබත් පිටියේදී ආරම්භ වේ. ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලුදෙනාම පාහේ නත්තල් දිනයට පසුදා (බොක්සිං දිනය) ආරම්භ වන ටෙස්ට් තරග දෙස බලා සිටිති. නත්තල් දිනට පසුදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය අපේ තරුණ ක්‍රීඩකයන්ට සුවිශේෂී අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමත්, සිම්බාබ්වේදී සිම්බාබ්වේ කණ්ඩායමත් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේදී මුහුණ දීමට සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානුවන් පරාජය කළ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ය. කණ්ඩායම් දෙකම ජයග්‍රාහී රිද්මයකට අවතීර්ණව සිටියද දකුණු අප්‍රිකානුවන් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙනි. දකුණු අප්‍රිකානුවන්ට හිතකර තත්ත්වයන් තුළ තරගාවලිය පැවැත්වෙන බැවින් ඔවුන්ට ඇති වාසිය තවතවත් වැඩි වනවා මිසක අඩුවක් නොවේ.

වේගය, ඉපිළීම සහ දෝලනය සහිත දකුණු අප්‍රිකානු තණතිලිවල ක්‍රීඩා කරන බැවින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩිව පරීක්ෂාවට ලක්වේ. එය වැළැක්විය නොහැකි කාරණයකි. තවද දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පන්දුවට පහරදීමේ තාක්ෂණයද පරීක්ෂාවට ලක්වන බැවින් සංයමකින් යුතුව කල්යල් බලා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ආක්‍රමණය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙරාතුරුව ලැබුණු එකම පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වුවද පුහුණු තරගයට එක්ව සිටි ප්‍රතිවාදී පන්දු යවන්නන් ගැන සෑහීමකට පත්විය නොහැකිය. මන්ද ඔවුන් තවමත් දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරගවලදීවත් එතරම් දක්ෂතා දක්වා නොමැති බැවිනි. සංචාරක කණ්ඩායමකට පුහුණුවක් ලබාදීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා කණ්ඩායමක් ලබාදෙනවා මිසක ප්‍රතිවාදීන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම පිණිස දක්ෂ ක්‍රීඩකයන් ඒ සඳහා භාවිත නොකිරීම සෑම රටක්ම පාහේ මේ වනවිට සිදුකරන දෙයකි.

එහෙයින් ඒ සම්බන්ධයෙන් පුදුම වන්නට දෙයක් නොමැත. පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේද එයයි. පුහුණු තරගයේදී පිතිකරුවන් සියලුදෙනාම සාර්ථක වූ බැවින් අධිවිශ්වාසයකින් යුතුව තරගය ප්‍රවිෂ්ට වීම නොකළ යුතුය. මන්ද වර්නන් පිලැන්ඩර්, කාගිසෝ රබාඩා සහ කයිල් ඇබොට් යනු පුහුණු තරගයට එක්වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් සමග සැසඳීමේදී අහසට පොළොව මෙන් විශාල පරතරයක් ඇති වේගපන්දු යවන්නන් වන බැවිනි. තවද වේගය, ඉපිළීම සහ දෝලනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට හසුවන බැවින් වේන් පාර්නෙල්ද අවසන් එකළොස් දෙනා අතරට එක්වීමට අවස්ථාවක් ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හිසරදය තවතවත් වැඩි වනු ඇත.

පළමු තරගයට කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වනු ඇත. තවද උපුල් තරංග සහ ධනංජය ද සිල්වා අතරින් කෙනෙකු අවසන් 11 දෙනා අතට එක්වීමට වැඩි අවස්ථාවක් පවතී. මෙම පිතිකරුවන් දෙදෙනාම ලකුණු අතර සිටියද, අද තරගයට ක්‍රීඩාකිරීමට ඉදිරියෙන් සිටින්නේ ධනංජය ද සිල්වාය. ශුද්ධ පිතිකරුවන් හත්දෙනෙකු සහ පන්දු යවන්නන් සිවුදෙනෙකු සමගින් පළමු ටෙස්ට් තරගයට ප්‍රවිෂ්ට වනු ඇතැයි විශ්වාස කළ හැකි බැවින් කණ්ඩායම සමගින් එක්වන එකම දඟපන්දු යවන්නා රංගන හේරත්ය.

වේග පන්දු යවන්නන් අතරින් සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් සමගින් එක්වන සෙසු වේගපන්දු යවන්නා කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව නොමැත. දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර අතරින් පසුගිය තරග කිහිපයේදී ළහිරු කුමාර ඉදිරිපත් කළ දක්ෂතා නිසා ඔහු අද තරගයට එක්වීම සඳහා ඉදිරියෙන් පසුවේ.

ස්ටෙෆන් කුක්, ඩීන් එල්ගා, ජේ.පී ඩුමිනි, ෆෆ් ඩූ ප්ලෙසිස් සහ කුවින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු අතරට සිටින පිතිකරුවන් වේ. ඔවුන්ට ගැටලුවකට ඇත්තේ හෂීම් අම්ලා ලකුණු අතර නොසිටීමය. යම් හෙයකින් අම්ලා ලකුණු අතරට පැමිණියහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු හිසරදයක් වනවා නොඅනුමානය.

අද (26දා) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භ වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top