Political

භාෂාව මිනිසුන් එක් කරන පාලමක් කරගත යුතුයි!

භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව, මිනිසුන් එක්කරන පාලමක් කරගත යුතු බවත්, භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන් කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවද, මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතු අතරම එම භාෂා හැදෑරිය යුතු යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

අද දවසේ ද සියලු දෙනා පිළිගන්නා ජාතික සංහිඳියා පිළිවෙත කරා යන ගමනේ දී, ඊට බාධා කරන්නේ මනුෂ්‍යත්වය නොහඳුනන පිරිසක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (14) පෙරවරුවේ යාපනය හින්දු විද්‍යාලයේ පැවැති ජාතික දෙමළ භාෂා දින උත්සවය අමතමිනි.

යාපනය හින්දු විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ජනාධිපතිවරයාගේ සුරතින් සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව දෙමළ භාෂා දිනය වෙනුවෙන් පැවති තරගවලින් ජයග්‍රහනය කළ පාසල් දරුවන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද සිදු කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

අද මම උතුරට පැමිණියේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගෙනයි. එයින් පළමුවැන්න දෙමළ භාෂා දිනය සැමරීම. ඒ සඳහා ඔබ සියලු දෙනාම දක්වන සහයෝගය මා ඉතාමත් අගය කරනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාටත්, රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු සියලු නිලධාරී මහත්ම මහත්මීන්ටත් මේ වැදගත් උත්සව අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳ මා ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දෙමළ භාෂා දිනයේ දී මේ පවත්වන ජාතික උත්සවයට සහභාගි වීම දෙමළ භාෂාවට වගේම ආදරණීය දෙමළ ජනතාවට කරන ගෞරවයක් වශයෙන් මා සලකනවා.

ඒ වගේම මම සඳහන් කරන්නට ඕනෑ අද උදෙන්ම අපි උතුරට පැමිණිලා මේ යාපනයේ දී පටන් ගත්තේ කෘෂිකර්ම වැඩසටහනක්. ඔබ දැක්කා පසුගිය දිනවල අපි මේ රටේ ආහාර නිෂ්පාදනය සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් පටන් ගත්තා. දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇමැති ධුරය දරන කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් සියලු රාජ්‍ය ආයතනත් මුල් කරගෙනයි මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භ කළේ. ඔබ දන්නවා පසුගිය මාස කිහිපයේම අපිට පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා. රටේ පළාත් 12ක අවුරුදු එකහමාරක් තිස්සේ නියඟයක් තිබෙනවා.

ඒ වගේම ඔබ දැක්කා ඇතැම් පළාත් ගංවතුරින් විනාශ වුණා. මේ නියඟයත්, ගංවතුරත් නිසා විශාල වශයෙන් රටේ කෘෂිකර්මාන්තයට පාඩු සිද්ධ වුණා. රටේ සහල් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සියයට 50ක් පහත වැටුණා. ඒ නිසා තමයි සහල් පිටරටින් ගෙන්වන්න අපිට සිද්ධ වුණේ. මේ නියඟය සහ ගංවතුර අයහපත් කාලගුණය අපේ රටට විතරක් බලපාපු ප්‍රශ්නයක් නොවෙයි. ඔබ දකිනවා මාධ්‍ය තුළ ලෝකයේ සියලුම රටවල්වල කාලගුණික සහ දේශගුණික විපර්යාස නිසා විශාල ව්‍යසනයන්, විනාශයන් සිදුවෙනවා. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ඇති වූ ගින්න ඇති වෙලා දින තුනක් වෙනවා. තවමත් එය නිවන්න බැරි වෙලා තිබෙනවා. ලෝකයේ සෑම රටකම ජනතාව මේ ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දීලා සිටිනවා. ස්වභාවධර්මයාට අභියෝග කරමින් අපි මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.

අපිට අවශ්‍ය අහාර අපි නිෂ්පාදනය කර ගත යුතුයි. උතුරේ ගොවි ජනතාව ඉතාම දක්ෂ ගොවීන් බව මුළු රටම දන්නවා. යාපනයේ ගොවියා පිළිබඳ තිබෙන්නේ කීර්තිමත් ඉතිහාසයක්. යාපනයේ ගොවියා කියලා කියන්නේ ප්‍රශ්න දුෂ්කරතා රාශියක් තිබිය දී ඉතාමත් දක්ෂ විදියට කෘෂිකාර්මික නිෂ්පාදනවල නියැළෙන පිරිසක්. අද මේ උතුරේ ගොවි ජනතාවට රජය මගින් කෘෂිකර්මාන්තය දියුණු කරන්න උපකාර රාශියක් සිදු කළා. අවශ්‍ය කෘෂිකාර්මික යන්ත්‍ර බෙදා දුන්නා. අවශ්‍ය පැළ බෙදා දුන්නා. අවශ්‍ය බීජ බෙදා දුන්නා.

කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපි ඉදිරියටත් උදවු කරනවා. මේ මුළු රටේම සමස්ත ගොවි ජනතාවට ඒ උදවු අපි කරනවා. අද යාපනයේ ගොවි ජනතාව මුණ ගැසුණු වෙලාවේ ඔවුන් මගෙන් ඉල්ලීම් කිහිපයක් කළා. ඔවුන් කළ එක ඉල්ලීමක් තමයි පිටරටින් අර්තාපල් ගෙන්වන්න එපා. මෙහි නිෂ්පාදනය කරලා, පිටරටින් ගෙන්වන එක නවත්වන්න කියලා. කෘෂිකර්ම ඇමැතිවරයා සමඟත් ගොවි සංවිධාන සමඟත් සාකච්ඡා කරලා ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පියවර ගන්නවා. ඒ වගේම බැංකුවලට තිබෙන ණය පිළිබඳ ගොවි ජනතාව මගෙන් ඉල්ලීම් කළා. ඒ නිසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරලා උතුරේ ගොවි ජනතාව බැංකුවලින් අරගෙන තිබෙන ණය පිළිබඳ ප්‍රශ්නයට අවශ්‍ය සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

එක්දහස්නමසිය හැට ගණන්වල අපි පාසල් යන කාලේ සිංහල පාසල්වල සිංහල පොත්වල තිබුණා යාපනයේ ගොවියා ගැන. ඒ පොත්වල තිබුණේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේ යාපනයේ ගොවියා දක්ෂ ගොවියෙක් විදියට කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන ආකාරය. ඒ නිසා මේ ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් දීලා මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න අපි රජයක් විදියට ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.

දෙමළ භාෂා දිනය පිළිබඳයි අද මේ ප්‍රධාන ජාතික උත්සවය. මේ වැඩසටහනට ඔබ සෑම කෙනෙක්ම දක්වන සහයෝගය මා ඉතාමත්ම අගය කරනවා. දෙමළ භාෂා දිනය වෙනුවෙන් ඔබේ තිබෙන කැපවීම සහ ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳ විදුහල්පතිවරුන් සහ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පාසල් දරුවන්ට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මම අද මෙතනට පැමිණිලා හින්දු විද්‍යාලයේ නව තාක්ෂණාගාරය විවෘත කළා. මේ හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රටවල් 14ක සිටින ආදි ශිෂ්‍යයන් අද මේ උත්සවයට පැමිණ සිටිනවා.

විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන්ටත් මම මගේ ස්තූතිය ගෞරවය පිරිනමනවා. මේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ලෝකයේ රටවල්වල ඉතාමත් දක්ෂ විදියට විවිධ වෘත්තීන් සහ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා. ඒක මේ හින්දු විද්‍යාලයට කරන ලොකුම ගෞරවයක්. අපේ රටට කරන ගෞරවයක්. ඒ නිසා අද ඉගෙන ගන්න දරුවොත් ඒ වගේ දක්ෂයන් වෙලා මේ රටේ වගේම ලෝකයේ රටවල්වල ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් විදියට ඔබේ දක්ෂකම් පෙන්වන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. අද පාසල් දරුවන්ට තිබෙන්නේ පන්ති කාමරය ඇතුළේ පමණක් තරගයක් නොවෙයි ඔබට තිබෙන්නේ ඔබ ඉගෙන ගන්න පාසල ඇතුළේ තරගයක් නොවෙයි ඔබට අද තිබෙන්නේ රට ඇතුළේ පාසල්වල තරගයක් නොවෙයි. අද මුළු ලෝකයම එකට සම්බන්ධ වෙලා තිබෙන්නේ. තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනය තුළ තරගකාරීත්වයක් තිබෙන්නේ. ඒ නිසා ඒ නව ලෝකයට ඔබ ඇතුළු වෙන්න ඕනෑ. ඔබ සෑම කෙනෙක්ම ඒ සටනින් ජයග්‍රහනය කරන්න ඕනෑ. ඔබ දක්ෂයන්ගේ දක්ෂයෙක් වෙන්න ඕනෑ. ඔබ විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වෙන්න ඕනෑ. ඔබ ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම ඒ තත්ත්වයට පත්වේවා කියලා ඔබ සෑම කෙනකුටම ආශිර්වාද කරනවා.

මේ දෙමළ භාෂාව ගැන මම විශ්ෂයෙන්ම යමක් කිව යුතුයි. ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා අපි ආසියා මහද්වීපයේ ජීවත් වෙන්නේ. ආසියාකරයේ මධ්‍ය ප්‍රදේශයේ ජීවත් වූ ආර්යයන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට එක්තරා යුගයක පැමිණියා. ආසියාවේ මධ්‍යකරයේ ජීවත් වූ ආර්යයන් උතුරේ ඉන්දියාවේ තමන්ගේ වාසස්ථාන ඇති කර ගත්තා. ඒ යුගයේ බොහෝ ජනතාව දකුණු ඉන්දියාවට පැමිණියා. දකුණු ඉන්දියාවේ ජනතාවගේ ප්‍රධාන භාෂාව දෙමළ භාෂාව බවට පත් වුණා. දෙමළ භාෂාව සහ සිංහල භාෂාව අවුරුදු දෙදහසකට වඩා පැරැණියි. ඔබ සෑම කෙනෙක්ම දන්නවා ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා, මිත්‍රශීලීභාවය අවුරුදු දහස් ගණනාවකට ඇදී යනවා. ආගමික සම්බන්ධතාවක් තිබෙනවා. සංස්කෘතික සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ කතා කරන භාෂාවන් රාශියක් තිබෙන බව ඔබ දන්නවා. මුළු ලෝකය වශයෙන් ගත්තොත් භාෂා දහස් ගණනක් තිබෙනවා. ඉන්දියාවේ භාෂා අටසිය ගණනක් තිබෙනවා. ඒ වගේම ඔබ අප සෑම කෙනකුටම ඉතාමත් හුරුපුරුදු භාෂා ගණනාවක්ම තිබෙනවා. ඉන් එක භාෂාවක් තමයි දෙමළ භාෂාව.

ඒ වගේම තවත් භාෂාවක් තමයි සිංහල භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි පාලි භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි සංස්කෘත භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි හින්දි භාෂාව. මේ භාෂා අතරේ වචනවල බොහෝ සමානකම් තිබෙනවා. සිංහල සහ දෙමළ භාෂාවේ තිබෙන වචනවලින් සියයට විස්සක් විතර ඒ භාෂාවල සිංහල සහ දෙමළ භාෂාවලට හුඟක් සමානයි. භාෂාවක් කියන්නේ මිනිස්සු වෙන් කරන එකක් නෙවෙයි. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එක ගොඩකට ගන්න එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන පාලමක්. නමුත් සමහර අය හිතනවා භාෂාව හින්දා මිනිස්සු වෙන් කරන්න ඕනෑ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරැදියි. ඒක මිනිස්සුන්ගේ ප්‍රතිපත්තියක් වෙන්න බැහැ.

ඒ නිසා භාෂාව තුළ සැමවිටම මිනිස්සුන්ගේ සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඒ වගේම එක පවුලක් විදියට මුළු මානව සමාජයම ජීවත් වෙන්න ඕනෑ. අපි මේ සෑම භාෂාවකටම ගරු කරන්න ඕනෑ. පුළුවන්නම් සෑම භාෂාවක්ම ඉගෙන ගන්න ඕනෑ. මම ඉතාමත් කනගාටු වෙනවා දෙමළ භාෂාව මට ඉගෙන ගන්න බැරි වීම ගැන. ඒ වගේම තමයි ඔබ සෑම කෙනෙක්ම දන්නවා බෞද්ධ දර්ශනය සහ හින්දු දර්ශනය අතර තිබෙන සම්බන්ධතාව. හින්දු ආගමික දර්ශනය තුළ විශේෂයෙන්ම තිබෙනවා විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේව මවපු කෙනෙක් කියලා. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කියලා හින්දු දර්ශනය තුළ සඳහන් වෙනවා. ත්‍රිපිටකය තුළ තිබෙන කරුණුත්, භගවත් ගීතාවත් අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අතීතයේ මේ භාෂා දර්ශන තුළ මිනිස්සු එකතු කළා. එකතු වුණා.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඔබ දන්නවා. මේ රටේ අනුරාධපුර යුගය පොළොන්නරු යුගය පිළිබඳ ඔබ දන්නවා. අද මේ යුගය තුළ මේ රටේ ජාතික සංහිඳියාව කතා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ තිබිය යුතු සහෝදරත්වය සහ මිත්‍රශීලීභාවය ගැන කතා කරනවා. අපි සෑම කෙනෙක්ම එකට සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි කියන ප්‍රතිපත්තිය පිළි අරගෙන තිබෙනවා. නමුත් ඒකට බාධා කරන අය ඉන්නවා. ඒකට බාධා කරන්නේ මනුස්සයෝ නෙවෙයි. ඒකට බාධා කරන්නේ අමනුස්සයෝ. මනුස්සකම තිබෙන හැම කෙනෙක්ම මේ භාෂාවන් දෙක එක්ක එකතු වෙන්න ඕනෑ. මම ඔබට පොළොන්නරු අනුරාධපුර යුග ගැන කිවුවේ ඇයි කියලා කියන්නම්. මේ රටේ ඉතිහාසයේ ජාතික සංහිඳියාව පිළිබඳ ඓතිහාසිකව වැදගත්ම යුගය තමයි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගය. පොළොන්නරුවට ගියාම ඔබ දකිනවා බෞද්ධ පැරැණි වෙහෙර විහාරස්ථාන රාශියක් තිබෙනවා. ඒ එකොළොස් වැනි සහ දොළොස් වැනි ශතවර්ෂවල.

මහා පරාක්‍රමබාහු රජතුමා මේ රටේ අවුරුදු 33ක් රජකම් කෙරුවා. මුළු රටම ඒකීය රටක් එකම රටක් විදියට තිබුණේ. ඒ පොළොන්නරුවේ තිබෙන සෑම බෞද්ධ විහාරස්ථානයක් එක්කම හින්දු කෝවිලක් තිබෙන බව ඔබ දන්නවා. අදත් ඔබට ගියොත් බලන්න පුළුවන් බෞද්ධ විහාරස්ථානයක් ළඟ හින්දු කෝවිලක් තිබෙනවා. සිංහල රජවරු බොහෝ දෙනෙක් විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ විවාහ ඇති කර ගත්තා. ඒ වගේම සිංහල රජ පවුල්වල සිංහල කාන්තාවන් ඉන්දියාවේ කුමාරවරු විවාහ කර ගත්තා. ඔබ දන්නවා අපේ රට පරාක්‍රමබාහු රජුගේ යුගයේ දී මියන්මාරයේ කොටසක් අල්ලාගෙන තිබුණා. ඒ අල්ලා ගන්න හේතුව වුණේ මේ විවාහ අතරේ වුණු ප්‍රශ්නයක්. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී බෞද්ධයන් ඉතාමත් ගෞරව කරන බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරන්න ඉන්දියාවෙන් අරගෙන ආපු වේලක්කාර හමුදාව යොදවලා තිබුණා. වේලක්කාර හමුදාව තමයි ඒ යුගයේ දී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළේ.

දැනට දවස් තුනකට කලින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාත් ගෙන්වලා මේ රටේ පුරාවස්තු පිළිබඳ අපේ සාකච්ඡාවක් තිබුණා. මේ රටේ තිබෙන පුරාවස්තු ගැන කතා කළා. පුරාවිද්‍යා කොමසාරිස්වරයා දැන් දවස් තුනකට කලින් ඉතා වැදගත් වාර්තාවක් මට දුන්නා. ඒ වාර්තාවේ සඳහන් කරන්නේ හින්දු ජනතාව ජීවත් වන මේ රටේ ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන පූජනීය ස්ථානවලට කිසිම හිරි හැරයක් කරන්නේ නැහැයි කියලා. මේ රටේ අද අපි දන්නවා පන්සල්, පල්ලි, කෝවිල් හදන්න ගියාම ප්‍රශ්න තිබෙනවා.

නමුත් පන්සලක් තිබෙන තැන තියෙන්න ඕනෑ සාමය. හින්දු කෝවිලක් තියෙන තැන තිබෙන්න ඕනෑ සාමය. මුස්ලිම් පල්ලියක් තිබෙන තැන තියෙන්න ඕනෑ සාමය. ඇයි මේ පූජනීය ස්ථාන නිසා අපි අරගල කරන්නේ. සටන් කරන්නේ. රණ්ඩු ඇති කර ගන්නේ. මේ සෑම ආගමික දර්ශනයකම කියන්නේ සමඟිය, සාමය සහෝදරත්වය පිළිබඳ. මේ දෙමළ භාෂා දිනයේ දී මේ සියලු දේවල් පිළිබඳ අපි කල්පනා කරන්න ඕනෑ.

මේ රටේ අද තිබෙන ප්‍රශ්නවල දී එක් ප්‍රශ්නයක් තමයි භාෂාව ඉගෙන ගැනීම පිළිබඳ තිබෙන ප්‍රශ්නය. ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ යාපනයේ ආපු කිහිප අවස්ථාවකදීම මම පාසල් දරුවන් හම්බ වුණා. මම ඒ දරුවන්ගෙන් ඇහුවා ඔබට මොනවද කියන්න තිබෙන ප්‍රශ්න කියලා. ඒ අවස්ථාවේ ඉස්සෙල්ලම ඒ අය ඉදිරිපත් කළ ප්‍රශ්නය තමයි අපිට සිංහල ඉගෙන ගන්න ගුරුවරු නැහැ කියලා. ඒ වගේම මේ රටේ දකුණේ සිංහල දරුවෝ කියනවා ඒ අයට දෙමළ ඉගෙන ගන්න ගුරුවරු නැහැ කියලා.

ඉතින් මේකට හේතුව තමයි දෙපිරිසටම අවශ්‍ය පුහුණු ගුරුවරු නැති එක. අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයත් මේ වන විට ඒ අඩුව සම්පූර්ණ කරන්න මේ භාෂාවන් උගන්වන ගුරුවරු පුහුණු කරගෙන යනවා. දෙමළ භාෂාව ශ්‍රේෂ්ඨ භාෂාවක්. මහා භාරතයේ ඓතිහාසික තොරතුරු, සාහිත්‍ය කලාව ශාස්ත්‍රීය දියුණුව ගැන අතීතයේ සිටම පළ වුණු පොත්වලින් වැඩි ප්‍රමාණයක් දෙමළ භාෂාවෙන් පළවුණු පොත් තිබෙන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම මේ භාෂාවන් අධ්‍යයනය කළ යුතුයි. මේ භාෂා තරගවල දී ජයග්‍රහන කළ දරුවන්ට මා සුබ පතනවා. සිංහල, දමිළ, මුස්ලිම් භේදයක් නැතිව සියලු දරුවන්ට එක හා සමානව සලකන ප්‍රතිපත්තියක් අපේ රටේ තිබෙන්නේ.

මීට කලින් සෑම රජයක්ම වෙන් කළ මුදල්වලට වඩා වැඩි මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය අවුරුද්දේ වෙන් කළා. ලබන අවුරුද්දෙත් අපි වෙන් කරනවා. ළඟම පාසල හොඳම පාසල කරන වැඩසටහන අපි රට වශයෙන් ක්‍රියාත්මක කරනවා. මේ රටේ පාසල් දහදහස් එකසිය හතළිහක් තිබෙනවා. ඒ වගේම මේ රටේ දෙලක්ෂ හතළිස් දාහක් විතර ගුරුමහත්ම මහත්මීන් ඉන්නවා. මේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවෝ ලක්ෂ හතළිස් දෙකක් පමණ ඉන්නවා. ඒ සෑම දරුවකුගේම අනාගතය අපි ආණ්ඩුවක් විදියට භාර ගන්නවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සෑම දරුවෙක්ම දැනුමෙන් ඉහළ දරුවෙක් කරන එක.

රටක් ගොඩනැ‍ඟෙන්න අවශ්‍ය ප්‍රධාන දේ තමයි උගත්කම සහ අධ්‍යාපනය. ඒ නිසා මේ දරුවන්ගෙන් උගතුන් පිරි සමාජයක් අපි ගොඩනඟනවා. එවිට තමයි ඔවුන්ට ලෝකය ජයග්‍රහනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි මම කිවුවේ පන්ති කාමරයේ නෙමෙයි ඔබට සටන තිබෙන්නේ ජාත්‍යන්තර සමාජයත් සමඟ කියලා. ඒ සඳහා අපේ සෑම දරුවෙක්ම හෙට දවස වෙනුවෙන් අපේ ආණ්ඩුව සූදානම් කරනවා.

මම අද යාපනයට එන විට යාපනය ප්‍රදේශයේ යම් යම් ප්‍රශ්න සිදුවී තිබුණා. යම් යම් උද්ඝෝෂණ සහ විරෝධතා තිබුණා. මම දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙක් විදියට උද්ඝෝෂණ, විරෝධතා, උපවාස, පෙළපාළි හොඳට හඳුනනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ. මාව ජනාධිපති ධුරයට තමුන්නාන්සේලා පත් කර ගත්තා. මේ රටේ ජනතාව හැට දෙලක්ෂ පනස් දාහකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි කරලයි මාව ජනාධිපති කළේ. ඒ ජයග්‍රහනය ලබා දුන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එයින් ප්‍රධාන දෙයක් තමයි ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සහ ජාතීන් අතර සමඟිය ගොඩනැ‍ඟීම. අනිත් කාරණය තමයි රටේ ආර්ථීකය ගොඩනැ‍ඟීම සහ දුප්පත්කම තුරන් කිරීම.

2017 අවුරුද්ද අපි නම් කළේ, දුගී බවින් නිදහස් වීමේ වර්ෂය විදියට. 2018 අවුරුද්ද නම් කරලා තිබෙන්නේ දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය විදියට. මේ උද්ඝෝෂණ, විරෝධතා කරන සියලු දෙනාට මම ආරාධනා කරනවා මාත් සමඟ ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න සාකච්ඡා කරන්න එන්න කියලා. මම මේ උත්සවයට එන විට මේ පාසලට එහා පැත්තේ කළු කොඩි උස්සගෙන සුළු පිරිසක් සිටියා. ඒ අය කළු කොඩිය ඔසවලා හයියෙන් කෑගැහුවා. මම හිතන්නේ කළු කොඩි ඔසවලා කෑගැසුවේ මට විරෝධය පළ කරන්න වෙන්න ඇති.

ඒ නිසා මම ඒ අය ළඟට ගියා. මම ඒ අයගෙන් ඇහුවා ඇයි මේ කළු කොඩි දාගෙන කෑ ගහන්නෙ කියලා. ඒ අයගේ ප්‍රශ්න මට ඉදිරිපත් කළා. මම කිවුවා ඒ ප්‍රශ්න විසඳන්න මා සමඟ සාකච්ඡාවකට එන්න කියලා. ඒ අය කියනවා සාකච්ඡා බැහැ. ඒ අයගේ ඉල්ලීම දෙන්න කියලා. නමුත් සෑම ප්‍රශ්නයක්ම විසඳ ගන්න ඒ අදාළ පාර්ශ්ව එක්ක එකට වාඩිවෙලා සාකච්ඡා කරන්න ඕනෑ. උතුරේ වේවා, දකුණේ වේවා, නැ‍ඟෙනහිර, බටහිර වේවා, ඕනෑම කෙනකුට ප්‍රශ්න තිබෙනවා නම් ඒ ඕන දෙයක් මාත් එක්ක වාඩිවෙලා සාකච්ඡා කරන්න මා ආරාධනා කරනවා. එතකොට මේ ප්‍රශ්න විසඳ ගන්න අපට පුළුවන්.

අපි ගැටුම් ඇති කර ගන්න හොඳ නෑ. ප්‍රචණ්ඩත්වයට තල්ලු වෙන්න හොඳ නෑ. අපි සියලු දෙනාට අවුරුදු 30ක යුද්ධයක අත්දැකීම් තිබෙනවා. මේ රටේ නැවත කිසිම ආකාරයකින් යුද්ධයක් ඇති වෙන්න දෙන්න බැහැ. යුද්ධයක් ඇති වුණාම දුක් විඳින්නේ අහිංසක දුප්පත් ජනතාව. සල්ලි තිබෙන පෝසත් පවුල්වල අය රට හැරදාලා යනවා. අහිංසක දුප්පත් ජනතාව තමයි ඒකෙන් පීඩාවට පත් වෙන්නේ. ඒ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියලා ප්‍රශ්නයක් නැහැ. යුද්ධයෙන් ඒ හැම කෙනෙක්ම මැරුණා. ඒ සෑම කෙනකුගේම නායකයන් මැරුණා. ඒකෙන් වුණු බරපතළ අලාභහානි ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා සෑම වෙලේම කළු කොඩි නෙවෙයි සාමය සඳහා අවශ්‍ය සුදු කොඩි සමඟිනුයි සාමය ගොඩනඟන්න ඕනෑ.

යම් යම් විරෝධතා කරලා යම් යම් උද්ඝෝෂණ කරලා මාව දුර්වල කළොත් එහෙම ශක්තිමත් වෙන්නේ කවුද කියලා දන්නවද? සියලු ජාතීන්ගේ සමඟිය සහ සහෝදරත්වය ගොඩනඟන්නයි මම තමුන්නාන්සේලා වෙනුවෙන් මේ වගකීම භාර අරගෙන තිබෙන්නේ. සියලු දෙනා අතරේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහා නැති කරන්නයි මම මේ වගකීම ඉෂ්ට කරන්න භාර ගත්තේ. හැම දරුවකුටම හැම මිනිසකුටම එක සමාන සාධාරණ සමාජයක ජීවත් වෙන්නයි මම මගේ රජය යටතේ කටයුතු කරන්නේ. මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා කියන එක අමතක කරන්න එපා.

මම ඔබ සියලුදෙනාගෙම අනාගතයට සුබ පතනවා. ආශිර්වාද කරනවා. මේ වේදිකාවෙ දී දරුවෝ ඉතාමත් ලස්සන නාට්‍ය ඉදිරිපත් කළා. ඒ දරුවන්ට සහ ඒ දරුවෝ පුහුණු කළ ගුරු මහත්ම මහත්මීන්ට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම අපේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට කියනවා ඒ දරුවෝ ඉදිරියේ තිබෙන උත්සවවලට කොළඹට අරගෙන එන්න මම අවශ්‍ය පහසුකම් සලසනවා කියලා. ඒ දක්ෂ දරුවන්ගේ දක්ෂකම් දකුණේ ජනතාවත් දකින්න ඕනෑ. සාහිත්‍ය කියන්නේ මිනිස්සු එකතු කරන විෂයක්.

දෙමළ භාෂා දිනය උත්සවශ්‍රීයෙන් පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙතන නැතත් එතුමාටත්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන් මහතාටත් විශේෂ ස්තූතිය පිරිනමනවා. මේ සියලු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, මවුපියන්, දරුවන් සෑම කෙනකුටම මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම මෙහි දී විශාල කැපවීමකින් කටයුතු කරන පොලිසියටත්, ත්‍රිවිධ හමුදාවටත් මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. මේ දරුවන්ගේ අනාගත ලෝකය සමෘද්ධිමත් කරන්න අපි සියලුදෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු කියලා අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා යැයි ද වැඩි දුරටත් පැවැසීය.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන් මහතා – උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල දරුවන් 350 දෙනකුට ත්‍යාග සහ සහතික පත් ලබාදෙන මේ අවස්ථාවට ජනාධිපතිවරයාගේ පැමිණීම මහත් ගෞරවයක් කොට සලකනවා. යාපනය හින්දු විද්‍යාලයට ස්වාමි විවේකනන්ද, මහත්මා ගාන්ධිතුමා, අබ්දුල් කලාම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පැමිණ තිබෙනවා. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම අපි මහත් ගෞරවයක් කොට සලකනවා. වත්මන් ජනාධිපතිවරයාට මේ රටේ පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටකට යෑමට හැකියි. ජනාධිපතිවරයා සමඟ උතුරේ දරුවන්ට කතා කිරීමටත් ඡායාරූප ගැනීමටත් අවස්ථාව ලබාදීම ඉමහත් සතුටට කරුණක්.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද, ජනාධිපති ලේකම් ‍ඔස්ටින් ප්‍රනාන්දු, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top