Local

මහ දවල් මහ බැංකුව කොල්ල කෑ බැඳුම්කර මහා හොරු ජනපති කොමිසම හමුවට කවු ද ඇත්ත කියන්නෙ…? කවු ද බොරු කියන්නෙ…?

මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් අද බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

ඔවුන්ගෙන් විමසා ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදු වූ දිනයට පෙර දින පැවති උදෑසන සාකච්ඡාව පිළිබඳව ය.

කොමිසමේ සභාපති විනිසුරු කේ. ටී චිත්‍රසිරි මහතා ඇතුලු සාමාජිකයින් විසින් අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවා තිබිණි.

2015 පෙබරවාරි 27 වන දින සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියට පෙර දිනයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා නිලධාරීන් සහභාගි වූ උදෑසන සාකච්ඡාවක් පිළිබඳව කොමිසම හමුවේ අද ප්‍රශ්න කෙරිණි.

මෙම සාකච්ඡාව පැවති දිනය වනවිට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා කටයුතු කළ අතර කබීර් හෂීම් මහතා කටයුතු කළේ පක්ෂයේ මහලේකම්වරයා ලෙසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස මලික් සමරවික්‍රම මහතා මෙම සාකච්ඡාවට සහභාගිවී තිබේ.

කබීර් හෂීම් මහතා ඊට සහභාගිවී ඇත්තේ, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසිණි.

ඔවුන් දෙදෙනා අද ප්‍රකාශ කළ ආකාරයට එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකුවේ එවක අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරුන් සහ මහ බැංකුවේ, මහා භාණ්ඩාගාරයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු ඊට සහභාගිවී තිබේ.

කබීර් හෂීම් මහතා පැවසුවේ, අමාත්‍යාංශය ගෙවා නොමැති රුපියල් බිලියන 18 ක මාර්ග කොන්ත්‍රාත්තු බිල්පත් හඳුනාගෙන ඇතැයි 2015 පෙබරවාරි 16 වන දා තම අමාත්‍යාංශයේ ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයාට ලිපියකින් දැන් වූ බවයි.

එම මුදලින් බිලියන 3ක් අමාත්‍යාංශය සතුව ඇති බවත් ඉතිරි බිලියන 15 සොයා ගැනීමට අවශ්‍යව ඇති බවත් ලේකම්වරයාගේ ලිපියේ සඳහන්ව තිබූ බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

අද කොමිසම හමුවේ සාක්ෂි දුන් අමාත්‍යවරුන් දෙදෙනාම පැවසුවේ, අතරමග නවතා දැමූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුවේදී සාකච්ඡා කළ බවයි.

හදිසි මුදල් අවශ්‍යතාව පිළිබඳව කබීර් හෂීම් මහතා එම අනුකමිටු රැස්වීමේදී කරුණු අනාවරණය කර තිබේ.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කියා සිටියේ, එම අනුකමිටු රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි.

මෙම මුදල් අවශ්‍යතාව පිළිබඳව අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස්දී ඇත.

අමාත්‍යවරුන් දෙදෙනා අද කොමිසම හමුවේ කියා සිටියේ, ආර්ථික කළමනාකරණ අනුකමිටු රැස්වීමෙන් දින කිහිපයකට පසුව පැවති උදෑසන සාකච්ඡාවේදී මහා මාර්ග අමාත්‍යාංශය සිය අවශ්‍යතාව ඉදිරිපත් කළ බවයි.

මෙම සාකච්ඡාවේදී ඊට පසුදින පැවැත්වෙන බැඳුම්කර වෙන්දේසිය හෝ බැඳුම්කර නිකුතුවක් පිළිබඳව කිසිදු සාක්ච්ඡාවක් සිදු නොවූ බව ද අමාත්‍යවරුන් දෙදෙනාම පැවසුහ.

පර්පෙචුවෙල් සමූහයේ ව්‍යාපාරයකින් නැත්නම් ශ්‍රී ලංකා ව්‍යාපාර සමූහයෙන් අර්ජුන ඇලෝසියස් මහතාගෙන් හෝ ජෙෆ්රි ඇලෝසියස් මහතාගෙන් නැතහොත් පවුලේ සාමාජිකයෙකුගෙන් එක්සත් ජාතික පක්ෂයට මුදල් ආධාර හෝ ගෙවීම් ලැබුනේදැයි සභාපති විනිසුරුවරයා අමාත්‍යරුන් දෙදෙනාගෙන් ම ප්‍රශ්න කර තිබේ.

ඔවුන් දෙදෙනාම කියා සිටියේ එවැනි මුදල් ලැබීමක් සිදු නොවූ බවයි.

2015 මාර්තු මාසයේ මුල් සති කිහිපය තුළ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 8.3 ක් ද මාසය අවසාන වනවිට ඉතිරි රුපියල් බිලියන 10 ද ලැබුණු බව කබීර් හෂීම් මහතා පැවසුවේ ය.

ඔහු කියා සිටියේ, පෙබරවාරි මාසයේ හඳුනාගත් මුදල් අවශ්‍යතාව මාර්තු මාසය වනවිට ද ඒ අයුරින්ම පැවති බවයි.

පැය භාගයක පමණ කාලයක් කොමිසම හමුවේ සාක්ෂි දුන් ඇමතිවරුන් දෙදෙනා පිටව ගිය අතර මලික් සමරවික්‍රම මහතා මාධ්‍ය මගහැර ගොස් තිබේ.

මීට මාස කිහිපයකට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රවී කරුණානායක මහතා යැවූ බව කියන දිනයක් නොමැති ලිපියක් ඉදිරිපත් කළේ ය.

එදින ඔහු කියා සිටියේ 2015 පෙබරවාරි 26 වන දා පැවති උදෑසන සාකච්ඡාවේදී මුදල් අවශ්‍යතාවක් සාකච්ඡාවට ලක් වූ අතර ඒ අනුව මාසයක් තුළ රුපියල් බිලියන 75 ක් සොයා ගැනීමට තීරණය කළ බවයි.

කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා මෙවැනි මුදල් අවශ්‍යතාවක් පැවති බව තහවුරු කිරීමට මෙම ලිපිය 2016 වසරේදී රවී කරුණානායක මහතාගෙන් ලබාගත් බව මහේන්ද්‍රන් මහතා අනාවරණ කළේ ය.

රවී කරුණානායක මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේ පැවසුවේ, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ඉල්ලීම මත මෙම ලිපිය නිකුත් කළ බවයි.

රුපියල් බිලියන 75 ක මුදල් අවශ්‍යතාවක් ඒ වනවිට මතුවී තිබූ බව ද කරුණානායක මහතා එහිදී පැවසුවේ ය.

කෙසේවෙතත් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර් ආටිගල මහතා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා 2015 පෙබරවාරි මාසයේ හදිසි මුදල් අවශ්‍යතාවක් පිළිබඳව කිසිදු අයුරකින් භාණ්ඩාගාරයට දැනුම්දීමක් නොකළ බවයි.

එවැනි හදිසි අවශ්‍යතාවක් ඇත්නම් අදාළ මාසයේ මුදල් අවශ්‍යතා ලේඛනයට එය ඇතුළත් කර භාණ්ඩාගාරයට එවිය යුතු බව ද ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේ ය.

ආටිගල මහතා පැවසුවේ, රුපියල් බිලියන 75 ක අවශ්‍යතාවක් තිබුනේ නම් නිල වශයෙන් භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසුව භාණ්ඩාගාරය මහ බැංකුවට අදාළ දැනුම්දීම් කරන බව නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල මහතා අවධාරණය කළේ ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top