Sports

මෑතක සිට ලක්මාල්ගේ සිදුවූ වෙනස ගැන බිරිඳ මාද්‍යයට කරුණු කිව්වේ මෙන්න මෙහෙමයි (Photos)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය දෙස ආපසු හැරී බලද්දී ශ්‍රී ලංකාව දක්ෂතා දැක්වූ සෑම අවස්ථාවකම ඒ පිටුපස සිටි ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස සුරංග ලක්මාල් හැදින්විය හැක.ටෙස්ට් තරඟාවලිය ආරම්භයේ ඉන්දියා කණ්ඩායමට පීඩනයක් වූ ලක්මාල් එක්දින තරඟාවලිය ආරම්භයේද ඉන්දියාවට පීඩනයක් එල්ල කරමින් ඉන්දියාවට දැඩි තර්ජන එල්ල කරන ආකාරය දැකගත හැකි විය.
මෙලෙසින් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී සුරංග ලක්මාල් මේ තරමටම දක්ෂතා දැක්වීමේ රහස කුමක්ද? ඒ ගැන ඔහුගේ බිරිඳ දිලානි ද සිල්වා පවසා සිටියේ සුරංගගේ දැඩි කැපවීම දක්ෂතා දැක්වීමට හේතුව බවයි .

දිලානි කොහොමද ඉතින් ?
ගොඩාක් සතුටුයි. ඒ වගේම සැමියා ගැන බොහොම ආඩම්බරයක් තියෙන්නේ. ශ්‍රී ලංකාවට දැන් ජයග‍්‍රහණය අත්‍යාවශ්‍ය සමයක්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එයාට හැකි උපරිමය කරන්නට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

සුරංග පසුගිය කාලයේ එතරම් දක්ෂතා දැක්වුයේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඔහු මොනවද ඔබ එක්ක කිව්වේ?

තරගයකදී විකට් ගන්න බැරි වුණාම එයාට හරිම දුකයි. ඒ වගේ අවස්ථාවලදී මම එයාගෙ හිත හදනවා. ඔයාට විකට් ගන්න බැරිවුණාට කමක් නෑ. කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරන්න කියලා මම එයාට කියනවා. සෑම තරගයකදීම එක විදියට විකට් ගන්න බැහැනේ කියලා මම හිත හදනවා.

නමුත් දැන් මේ දිනවල වාර්තා තබමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනවා. මොකද්ද මෙහි රහස?

කිසිම රහසක් නැහැ. ඒකට හේතුව එයාගේ කැපවීමයි. එයාගේ කෑම බීම ගැන පවා එයා වඩා සැලකිලිමත් වෙනවා. විශිෂ්ට කැප කිරීමකින් පුහුණු වීම්වල යෙදෙනවා. මම දකින විදියට රහස එයයි.

එදා ලකුණු 13 ට විකට් 4 ක් ගත්තාම ඔබට ඇති වු හැඟීම?

මේ තරගාවලිය නරඹන්න අපි ඉන්දියාවට ගියේ නැහැ. ගෙදර ඉඳලා ටී.වී. එකෙන් නැරඹුවේ. ඇත්තම කියන්න එදා මට වචන පිට වෙන්නෙ නැති තරමට ලොකු සතුටක් ඇතිවුණා. එදා තරගයේදී වීරයා වුණෙත් එයා. තරගය හමාර වු විගස අපට කතා කළා. වීඩියෝ දුරකථන පහසුකම් ඔස්සේ අපි ඒ සතුට බෙදා ගත්තා. අපට ඉතින් එයා නැතුව පාළුයි. එයාටත් එහෙමයි. නිතරම මායි පුතයි එක්ක ඉන්න තමයි එයා ආසා.

සැමියකු ලෙස ඔහු කොහොම කෙනෙක්ද?

ආදරණීය සැමියෙක්. මට සහ පුතාට හරිම ආදරෙයි. පුතාගේ වයස අවුරුදු 3 යි. බිරිඳකට ලැබිය යුතුව උතුම් ගති ඇති සැමියෙක්. ඒ නිසා මට මා ගැන නිහතමානී අඩම්බරයක් තියෙන්නේ.

එයාගේ චරිත ස්වභාවය ගැන කතා කළොත් ?

විවේකය අඩුනිසා විවේකයක් ලැබුණු විගස නින්දට හරිම කැමතියි. හරියට අනුන් ගැන හිතන කෙනෙක්. කාගෙවත් හිත් රිදවන්න කැමැති නැහැ. තරාතිරම නොබලා එයා උදව් කරනවා. ඒ වගේම අනුකම්පා කරනවා. දෙන දේ දෙන්න ආයේ දෙපාරක් ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ.

සුරංග ක‍්‍රිකට් හැර වෙන මොන වගේ ක‍්‍රීඩා වලටද වඩා දක්ෂ?

පාපන්දු ක‍්‍රීඩාවට දක්ෂයි. ඉඳහිටලා ටෙනිස් ගහන්නත් ආසයි. හැබැයි ගෙදර සිටියොත් පුතා එක්කත් ඉතින් ක‍්‍රිකට්ම තමයි.

පළමු තරගයේ විරයා වු සුරංග ලක්මාල් පිළිබදව ශ‍්‍රී ලංකා පන්දු යැවීම පුහුණුකරු රුමෙෂ් රත්නායක ද පපරෙ වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් පවසා සිටියේ සුරංග ලක්මාල් දක්ෂතා දැක්වීමට හේතුව ඔහුගේ විශාල කැපවීම බවයි

“මම හිතන්නේ නැහැ තවමත් අපි අඛණ්ඩව සුරංග ලක්මාල්ගේ ඉහළම දක්‍ෂතාවය දකිනවා කියලා. ඔහු මේ වන විට ඒ දක්වා ළඟාවෙමින් සිටිනවා. ඔහුට ඒ සඳහා විශාල කැපවීමක් තියෙනවා. ඔහු දන්නවා නිසි වේලාවට නිසි රිද්මයෙන් යුතුව පන්දු යවන්න. ඔහුට දැන් තියෙන ආබාධවලින් ඔහු සම්පූර්ණ සුවය ලැබුවට පස්සේ ඔහු අඛණ්ඩව ඔහුගේ ඉහළම දක්‍ෂතා අතරට පැමිණෙයි කියලා මට විශ්වාසයි.”

“පළමු තරගයේ දී සුරංග ලක්මාල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා. කියන්න ලේසියි තණතිල්ල ඊට ගොඩක් හිතකර තත්වයක තිබුණා කියලා. අපි පිතිකරණයේ නිරත වෙනකොටත් තණතිල්ල තිබුණේ ඒ වගේමයි. ඔහුගේ ඒ දක්ෂතාවයට හේතුවුණේ ඔහු පන්දුව හරි තැන් වල පතිත කරමින් හොඳින් පන්දු යැවීම. ඒක මම දැකපු හොඳම වේගපන්දු යැවීම්වලින් එකක්.”

රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

එහි දී ලක්මාල් ඔහුගේ පන්දුවාර 10 අඛණ්ඩව ඉතා හොඳින් යොමු කළ අතර ඔහු අතින් එහි දී දුර්වල පන්දුවක් යොමු වූයේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

“ඔහුට එහි දී හොඳ සහායෝගයක් ලැබුණා. පළමුවෙන්ම මැතිව්ස්ගෙන්. ඔහු ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඔහු පොඩි පන්දුවාර ප්‍රමාණයක් පමණක් යැවුවත් ඔහු හොඳ පීඩනයක් එල්ල කළා. ඒ හරහා ලක්මාල්ට කඩුලු ලබාගන්න පහසු වුනා. ඔහු පන්දුව පතිත කළ ස්ථාන ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. මැතිව්ස්ගෙන් අනතුරුව නුවන් ප්‍රදීප් ඇවිත් ඒ වගේම පීඩනයක් එල්ල කළා. ඒක ලක්මාල්ට පන්දුවාර 10 යොමු කරන්න ලොකු උදව්වක් වුනා. එක් අවස්ථාවක දී අපිට අදහසක් තිබුණා ඔහු පන්දුවාර 7ක් යොමු කළාට පස්සේ ඔහුව ඉන් ඉවත් කරන්න. නමුත් මම ඒ වෙලාවේ ඔහු සමඟ කතා කළාම ඔහු කිව්වේ ඔහු හොඳම තත්වයක නොසිටියත් ඔහුට ඉතිරි පන්දුවාර ටික යොමු කරන්න පුළුවන් කියලා. ඔහු හොඳින් පන්දු යවපු නිසා ඔහුට ඒකට උනන්දුව තිබුණා.”රත්නායක මහතා පැවසීය.

ලක්මාල් පැයට කි. මී. 140 ඉක්මවමින් පන්දු යවන්නේ ඉතාමත් කළාතුරකින් වුවත් ඔහු එහි දී පිතිකරුවන් මුලා කරමින් ඔවුන්ගේ කඩුලු දවා ගැනීමට සමත් විය.

“ඔහු පන්දු යැවුවේ පැයට කි. මී. 134ක වගේ වේගයකින්. ඒ අනුව ඔහුගේ වේගයේ යම් අඩුවීමක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ඔහුගේ ආබාධ නිසා. නමුත් ඔහු කණ්ඩායමට ගේන අත්දැකීම් ගොඩක් වටිනවා. ඒ නිසා ඔහු කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක්.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ බලඇණියේ පෙරගමන්කරුවා වශයෙන් ලක්මාල් අනෙක් වේගපන්දු යවන්නන්ට ද සැලසුම් සකසමින් ක්‍රීඩා කළ බව රත්නායක මහතා අදහස් දක්වමින් පැවසීය.

“ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු හොඳ ආදර්ශයක්. ඔහු ක්‍රීඩා කරන්නේ අනෙක් අයවත් දිරිගන්වමින්. ඔහු ඉතාමත් හොඳ උපදෙස් දෙනවා මට ඇහිලා තියෙනවා. ටෙස්ට් තරගාවලියේ දීත් ඔහු කණ්ඩායමට ලොකු දායකත්වයක් ලබා දුන්නා. වේගපන්දු යවන්නන් සාමාන්‍යයෙන් අනෙක් අයටත් උදව් කරමින් ක්‍රීඩා කරන නිසා ඒක ඔවුන් තුළ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. අද අපි වේගපන්දු යවන්නන් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වූවා. ලක්මාල් එහි දී අනෙක් අය කරන්න ඕනේ දේවල් පැහැදිලි කළා. ඔවුන් පන්දු යැවිය යුත්තේ කොහොමද, ඒ වගේ දේවල්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top