Political

මොරගහකන්ද අද ජනතා අයිතියට

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සැලසෙන සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය වන මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීම හා මහවැලි ව්‍යාපෘතිය අවසන් බව සනිටුහන් කිරීමේ ජාතික මහෝත්සවය අද (08දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පවසා සිටියේ ජනවාරි 08 දා පෙරවරුවේ යෙදී ඇති සුබ මොහොතින් ආරම්භ වන මෙම රාජ්‍ය උත්සව අවස්ථාව අවසන් වන්නේ පස්වරුවේ මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වෙන උත්සවයෙන් පසුව බවය. මේ සඳපතිතුමන්, අගමැතිතුමන්, මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, පරිසර සංවිධාන, ගොවි ජනතාව සහ එම පවුල්වල සාමාජිකයින් සහභාගී වීමට නියමිතය.

මේ අතර මෙම උත්සවයට සමගාමීව උදෑසන දියවර නිකුත් කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ප‍්‍රදර්ශන පාපැදි සවාරියක්ද මොරගහකන්ද ජලාශය අසල සිට මහනුවර පොල්ගොල්ල උත්සව භූමිය වෙත පැමිණීමට නියමිත බව ලේකම්වරයා පවසා සිටියේය.

මහවැලි ව්‍යාපාරයේ පංචමහා ජලාශවලින් මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු අතරමග නතර වී තිබූ අවස්ථාවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ගනිමින් නැවත මෙහි වැඩ ආරම්භ කළ අතර පසුව හිතවත් විදෙස් රාජ්‍යයන් මගින් ලබාගත් විදෙස් ආධාර යටතේ මෙහි වැඩකටයුතු නිම කළ බවද ජනාධිපති ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

මෙතෙක් කල් ජලය නොලැබුණු ප‍්‍රදේශවලට ජලය ලබා දීමටත් ජලය ලබාදෙමින් පැවති ප‍්‍රදේශවලට ජලය වැඩි ධාරිතාවක් ලබාදීමටත් හැකියාව ලැබෙන බවත් උතුරුමැද පළාතින් අවසන් වී තිබූ වැඩකටයුතු උතුරු සහ නැගෙනහිර පළාත් දක්වා ව්‍යාප්ත කිරීමටත් හැකි වී ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම මෙහි වැඩකටයුතු ජනවාරි 08 වෙනි දින දියවර නිකුත් කිරීමෙන් අවසන් නොවන බවත් එදින සිට මෙහි වැඩකටයුතු සංවර්ධනාත්මක ලෙස ඇරඹෙන බවත් ජනාධිපති ලේකම්වරයා පවසා සිටියේය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසා සිටියේ මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු ඒකාබද්ධ අරමුදලින් ආරම්භ කළ බවත් පසුව කුවේට් සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල හා චීන රජයේ ආධාර යටතේ අවසන් කළ බවත්ය.ඒ අනුව මුළු වියදම රුපියල් බිලියන 18ක් පමණ බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

අකිලා නදීශානි බණ්ඩාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top