Political

“රවිගේ විශ්වාසභංගයට ඡන්දෙ දෙන්න ආවේ නෑ – මහින්ද එලියේ ඉදලා දුරකථනයෙන් රවිට සුභ පැතුවා” (VIDEO)

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලු දෙනා තමන්ට සහය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා සදහන් කලේ ඒ සඳහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු බවයි.

2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බවත් තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා කටයුතු කරන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට මෙන්ම පවුල්වාදයට එරෙහිව බව ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.

යහපාලන ආණ්ඩුව අසමත් බැවින් තමන් සමග එක්වන ලෙස හිටපු නායකයා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිවරයා සදහන් කලේ තමන් තෙවරක්ම අසමත් වූ අයුරු අද ඔහුට අමතක වී ඇති බවයි.

බලයේ සිටීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට ගියේ රටට එල්වී ඇති ජාත්‍යන්තර අභියෝගවලට මෙන්ම අධික ණය බරත් සමග රට හමුවේ තිබූ ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබෙන අසමත්භාවය නිසා වන අතරම, 2015 ජනවාරී 08 වනදා ජනාධිපතිවරණයෙන් ඔහු දෙවන වරටත් අසමත්වූ අතර, ඉන්පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තෙවන වරටත් අසමත් වූ බවද පෙන්වා දුන්නා.

අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඒ සඳහා ඡන්දය භාවිතා නොකර රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතූ අයුරු ද තමා හොඳින් දන්නා බව ද ජනාධිපති එහිදි මතක් කර සිටියා.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳ කුමන අන්දමින් කතා කළත් මෙම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

“අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top