Local

ලොවට ම සාමයේ පණිවුඩය රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි!

ලොවටම සාමයේ පණිවුඩය තිළිණ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ අසිරිමත් නත්තල උදා විය.
මෙවර ලොව පළමු වරට නත්තල උදාවුයේ සමෝවා දූපත්වලටයි.

ඉන් අනතුරුව නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවලට නත්තල උදාවුණේ ලොව අනෙක් රටවල් නත්තල පිළිගැනීමට සූදානමින් සිටියදීයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්විණ.

ඒ රාගම ශාන්ත පීතර හා පාවුළු දේවස්ථානයේදීයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා සිය සුබ පැතුම් ඉල්ලා සිටින්නේ, මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී ඇති සෑම ගිනි අවියක්ම නිහඬ කර සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාමත් කරගැනීමේ ගමනක් යාමට නත්තල පූර්වාදර්ශයක් කරගත යුතු බවයි.

නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එම උත්තරීතර සිහිනය සැබෑ කරන්නා වූ මියුරු රිදී සීනූ නාදය මෙම නත්තලේදී ලොවපුරා රැව්දේවා යැයි ප්‍රාර්ථනා කරන බවයි.

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැහෙන අපූර් සංධිස්ථානයක් ලෙස නත්තල මානව ඉතිහාසය තුළ සුවිශේෂි භූමිකාවක් හිමිකර ගෙන සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නත්තල අර්ථවත් කරගත හැක්කේ යහපත් දේ සිතෙහි නිධන් කොට, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නත්තල් සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ මේ වන විට නත්තල, කිතුනු බැතිමතුන් පමණක් නොව, වාර්ගික, ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරන උත්සවයක් වී ඇති බවයි.

යේසුස් වහන්සේගේ දේශනාවේ සඳහන් සාමය, සත්‍යවාදී බව සහ අන්‍යෝන්‍ය ගරුත්වය යන කරුණු කෙරෙහි සමාජයේ අවධානය අන් කවරදාටත් වඩා මෙවර නත්තලේදී යොමු කළ යුතු බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ද නත්තල් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top