Local

වකුගඩු රෝගයෙන් පියා මියගිය ශිෂ්‍යත්වෙ සමත් දැරියට ජනපති පිහිට

ගලේවෙල – පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දුලංජලි මදුමාලි ප්‍රේමරත්න දියණියගේ දුක්මුසු පුවත විද්‍යුත් මාධ්‍ය කිහිපයක් මඟින් ප්‍රචාරය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ මෛත්‍රිපාල සිරිසේන මහතා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති අරමුදලෙන් එම දියණියට උසස් පෙළ දක්වා අධ්‍යාපනය සඳහා ආධාර මුදල් ලබා දෙන ලෙස නියෝග කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

වකුගඩු නිවාරණ ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා කියා සිටියේ ඊයේ (06දා) උදේ ජනමාධ්‍ය මඟින් මෙම දැරියගේ පුවත දුටු ජනාධිපතිවරයා දුරකතනයෙන් කතාකොට වකුගඩු රෝගයෙන් පියා මියගිය දියණියගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් උසස් අධ්‍යාපනය අවසන් වනතුරු ඇයට අවශ්‍ය අධ්‍යාපන වියදම් අරමුදල මඟින් සලසන ලෙසත් දැනුම් දුන් බවය.

එමෙන්ම ගඩොල් කපා ජීවත්වන මේ දැරියගේ මවත්, දැරියත්, විදුහල්පතිවරයාත්, පුවත හෙළි කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වන කේ.කේ. ආරියදාස මහතාත් ජනාධිපති මැඳුරට ගෙන්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව සඳහන් කළේය.

ඒ අනුව මේ දරුවා හා පවුල පිළිබඳවත් විශේෂ වාර්තාවක් තමන් ඊයේ (09දා) විදුහල්පතිවරයාගෙන් ලබාගෙන ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යාවක් වූ දුලාංජලී දියණිය ලකුණු 168ක් ලබාගෙන පාසල් ඉතිහාසයේ වසර 45ක් තුළ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ එකම සිසුවා බවට වාර්තා පොතට එකතු වන බවත් මේ සිසුවියගේ පියා මීට වසර දෙකකට ඉහතදී වකුගඩු රෝගය වැලඳීමෙන් මියගිය බවත් ඇයගේ මව ගීතිකා ලක්මාලි මහත්මිය රුපියල් එකයි ශත 25ක මුදලකට ගඩොල් කපා මේ දියණියත් පුතණුවනුත් ජීවත් කරවන බව ‘මව්බිම’ විසින් හෙළිදරවු කළෙමු.

එම පවුලට ජීවත්වීම සඳහා තවමත් නිවෙසක් නොමැතිව වෙනත් අයකුගේ නිවහනක ජීවත් වන බවද හෙළිදරවු කළෙමු. මෙම පුවත පිළිබඳව රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති සෝමසිරි අත්තනවත්ත මහතා ඇතුළු ගුරු මණ්ඩලයම ඉමහත් සතුටට පත් වූ බව සඳහන් කළේය.

දඹුල්ල- කේ. කේ. ආරියදාස

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top