Sports

ශ්‍රී ලංකා කණ්ඩායමට වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක් (Photos)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය කටක් හිදී (20) ආරම්භ වේ. මේ ඒ පිළිබඳව කරන පෙර විමසුමයි.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග තුනෙන් දෙකක් පරාජයට පත්ව මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වෙයි.

වර්ෂ 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 7ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 4ක ජය ඉන්දියානුවන් සතුවන විට, ශ්‍රී ලංකාව එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැත. තවද එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට පැවැත්වූ විස්සයි විස්ස තරග පහෙන් හතරක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

කටක් තණතීරුව පිටිය හා කාලගුණය

ප්‍රේක්ෂකයන් 45,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් මේ දක්වා පවත්වා නොමැත. මෙහි අවසන් වරට විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දී ය.

මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය දෙස බැලූ විය විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය 15°C – 26°C පමණ විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 07-11ක් වැනි අගයක් ගනු ඇත.

ඉන්දොරේ තණතීරුව පිටිය හා කාලගුණය

සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට සැරසෙන මෙම පිටියේ ප්‍රේක්ෂකයන් 30,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරේ. දෙවන තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් යෝග්‍ය වේ.

විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. 12°C – 25°C දක්වා වූ උෂ්ණත්වයක් ඉන්දොරේ අවට තිබිය හැක. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-15ක් වැනි අගයක් ගනු ඇත.

මුම්බායි තණතීරුව පිටිය හා කාලගුණය

මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් පවත්වා නැත. මෙහි අවසන් වරට විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2016 වර්ෂයේ දී ය.

එසේම මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරෙන අතර ප්‍රේක්ෂකයන් 45,000කට පමණ එකවර තරග නැරඹීමට හැකිය. තෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට 22°C – 30°C පමණ උෂ්ණත්වයක් මුම්බායි අවට ප්‍රදේශය තුල තිබේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-17ක් අතර අගයක් ගනු ඇත.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවෙයි (දෙසැම්බර් 19 වන විට). ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2965ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 119ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2177ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 91ක් අතැතිවයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

අවසන් නිගමනය

මෙම තරගාවලියට ඇතුළත් සියලු තරග රාත්‍රි තරග වන අතර දෙපිලේම බහුතරයක්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායම ජයග්‍රහණයේ මං පෙත් විවර කරගනු ඇත.

විස්සයි – විස්ස තරග කාලසටහන

පළමු තරගය – දෙසැම්බර් 20 කටක් හිදී
දෙවන තරගය – දෙසැම්බර් 22 ඉන්දොරේ හිදී
තෙවන තරගය – දෙසැම්බර් 24 – මුම්බායි හිදී
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල , දසුන් ශානක, සධීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා , සචිත් පතිරණ, අකිල ධනංජය , දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු.

ඉන්දීය විස්සයි විස්ස සංචිතය – රෝහිත් ශර්මා (නායක), මහේන්ද්‍ර සිං දෝනි, හාර්දික් පාන්ඩ්‍යා, දිනේශ් කාර්තික්, බැසිල් තම්පි, ජාස්ප්‍රිට් බුම්රා, යුස්වේන්ද්‍ර චහාල්, ශෙර්යාස් අයියර්, දීපාක් හූඩා, කුලදීප් යදෙව්, මොහොමඩ් සිරාජ්, මනීශ් පාන්ඩ්‍යා, ලෝකේශ් රාහුල්, ජාදෙව් උනද්කට්, වොශින්ටන් සුන්දර්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top