Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉන්දියාවට එරෙහි සංචිතයෙන් ඉවතට.. හේතුව මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නොවැම්බර් 16 දා ආරම්භවිමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරාවලියට අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා සළකා නොබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඊයේ (01දා) යොමුකර ඇති අතර එම 15 දෙනා අතරට කුසල් හා අසේල ඇතුළත් නොවේ.

කුසල් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීද, අසේල ඉන්දීය තරගාවලියේද ආබාධයකට ලක්වූහ. ඔවුන් අබාධවලින් සුවය ලබා ඇතැත් ක්‍රීඩා කිරීම සඳහා තවමත් ශාරීරික යෝග්‍යතාවයෙන් ප්‍රමාණවත් නොවිම නිසා ඔවුන්ව ටෙස්ට් තරගාවලියට සළකා නොබලා ඇත.

කෙසේ වෙතත් ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ. ඉන්දියාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා කුසල් හා අසේල යොදාගත හැකි වෙතැයි තේරීම් කමිටුව විශ්වාස කරයි

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය අතරතුරදී පිට කොන්දේ ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා සහභාගි වූ අවසන් තරග දෙකේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 44 ක්ද, ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 47 ක්ද ලබා ගත්තේය.

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ ආබාධයට ලක්වීමට පෙර අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සමගින් ලකුණු 125 ක් රැස්කිරීමටත්, ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගැනීමටත් සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 3 කින්ද, එක්දින තරග 3 කින්ද, විස්සයි20 තරග 3 කින්ද සමන්විත වන අතර නොවැම්බර් මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top