Political

සංහිදියාවේ සමුද්‍රය නොහොත් මොරගහකන්ද සමග උදාවන හෙට දකින අපේ රට (Video/Photos)

විවිධ බාධක මැඩ වසර ගණනක් ගතව පසුකාලීනව මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එය කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මැදුරු ඔය ජලාස ඉඳි කිරීමෙන් රැස් කෙරෙන ජලය මගින් නව අක්කර 320.000 ක් සංවර්ධනය කොට අක්කර 30. 000කට දියවර සැපයීය හැකි බවත්, මෙගාවොට් 540ක ස්ථාපිත ජල විදුලි ශක්තියක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමත්, මහවැලියේ අරමුණ වූ අතර එය ජයගෙන හමාරය.

මෙම ව්‍යාපෘතියේ අවසන් මෙන්ම සුවිසල් ම ව්‍යාපෘතිය වූයේ මොරගහකන්දයි. එය උතුරට ජලය රැගෙන ගොස් වියළිකතර හරිත වර්ණයෙන් බබළවන්නට තරම් සමත්වන බව මෙය සැළසුම් කළ විදේස් විශේෂඥවරුන් පවසා තිබේ. සෑම දේශපාලකයෙකුම අතහැර දමා තිබූ මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වත්මන් ජනාධිපතිවරයා සිය අණසකට යටත් කොට කඩිනම් කරණුයේ මෙවන් තත්ත්වයක් යටතේය. අප දන්නා පරිදි පැරකම් සමුද්‍රය යනු ලංකාවේ අති සුවිසල්ම වැව වන්නේය. එය සමුද්‍රය යන්න යෙදීමෙන්ම එහි විශාලත්වය මනාව දෘෂයමාන වේ. එසේ නම් සිතා බලන්න මොරගහකන්ද පැරකුම් සමුද්‍රය මෙන් 6 ගුණයකි. ඇතෙන්ම පැරකුම් සමුද්‍රය සාගරයක් නම් මොරගහකන්ද සප්තමහා සාගරයකි. එහි ජලයේ සිහිලස උතුරේ උණුසම නිවමින් සංහිඳියාවේ සිහිලස රැගෙන උතුරට ඇදෙනු ඇත.

මොරගහකන්ද නව ගොවිබිම් හෙක්ටර්යාර් 84000ක්, නව පවුල් ඒකක 1.50.000ක්, නව මාර්ග පද්ධති 350ක්, ජාතික වැව් පද්ධතියට වැව් 1800ක්, ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 25 ක්, වශයෙන් ජාතික මෙහෙවරක් .

“මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි. අප නිවස අසලින් ගලා ගිය පරාක‍්‍රම සමුද්‍ර මහ ඇළෙහි සිසිල පිළිබඳ මතකය අදත් මගේ සිරුර ප‍්‍රබෝධමත් කරයි. මා පියාව ඔහුට රජයෙන් ලැබී තිබූ කුඹුරු අක්කර පහෙන් එකක් මගේ ළමාවිය ගෙවෙත්ම මට පවරා දුන්නේය. මා පාසලට ගියේ අලුයම අවදිව, මගේ කුඹුරෙහි කළ යුතු කටයුතු නිම කිරීමෙන් පසුවය.

තුරුණු වියට පත්වත්ම මගේ සිත රජරට පරිසරයෙන් ලබන ආශ්වාදයට වඩා යොමු වූයේ රජරැටියාගේ දුෂ්කර දිවි පෙවෙත කෙරෙහිය. ඉදහිට අස්වනු යහපත් වූ කල සතුට ඔවුන් වසාගත් නමුත් දිවියෙහි වැඩි කොටසක් මහත් දුෂ්කරතා මැද ගෙවීමට සිදුව තිබිණ. නිරන්තරයෙන් පැමිණි නියං සායත්, ජල හිඟයත් ඔවුන් මුහුණ දුන් ප‍්‍රධාන ගැටලුව විය. නියං සාය පැමිණි කල ජලය සිදී වැව පත්ල ඉරිතැලී ගොස් පැවති අයුරු කිසිදා මගේ මතකයෙන් ඈත් නොවනු ඇත. එදා රජරට නිසි සෞඛ්‍ය හෝ අධ්‍යාපන පහසුකම් නොවීය. ගමෙන් ගම සම්බන්ධ කළ ගුරු පාර අබලන් වී තිබිණ. පසළොස් වැනි වියේ දී ළමා විය ගෙවා තුරුණු වියට පා තබන මා තුළ ඇති වූයේ රජරට ජනතාව මේ දුෂ්කරතාවන්ගෙන් කෙසේ හෝ මුද්‍රගත යුතුය යන අධිෂ්ඨානයයි. එවක් පටන්, ඒ අධිෂ්ඨානය සාක්ෂාත් කර ගැනීමට මගේ ජීවිතය කැප කළ ආකාරය අද මට සිහිපත් කළ හැක්කේ මහත් සන්තෝෂයෙනි”

මෙම අසිරිමත් ප‍්‍රකාශය උපුටා ගත්තේ 2007 ජනවාරී 25 වැනිදා මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය වෙනුවෙන් නිකුත් කළ ‘මහවැලි මහවිකුම’ නමැති සමරු කලාපයෙනි. ප‍්‍රකාශය සිදුකරනු ලැබුවේ එවකට කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මොරගහනක්ද ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ සුවිශේෂතම වාරි ව්‍යාපෘතියක් වශයෙකනි. ඊට හේතු කිහිපයක් වේ. එයින් ප‍්‍රධානතම හේතුව වන්නේ එය ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය වීමයි. දෙවැන්න යම් යම් දෛවෝපගත කාරණා එය කෙරෙහි විටින් විට බලපෑමයි. උදාහරණයක් වශයෙන් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ‘පංච මහා ජලාශ’ අතර ඉතා ඉහළ වැදගත්කමකින් යුතුව සඳහන් වූ ‘මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ’යම් කිසි කරුණක් හේතුවෙන් පස් පිඩැල්ලක් කැපීමකින් පවා තොරව අත්හැර දමන්නේය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් කැපී ගිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යළි 2007 ජනවාරී 25 වැනිදා මංගල පස් පිඩැල්ල කපා මහත් උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ වුවත් තවත් නොබෝ දිනකින් එවකට පැවැති ආණ්ඩුව ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ක‍්‍රමයෙන් කපා හරිනවා පමණක් නොව ව්‍යාපෘතිය වෙනුවෙන් ඇපකැප වූ ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ඉවත් කරන්නේය. ඊට පසුව ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අමාත්‍යාංශ විෂය පඨය සම්පූර්ණයෙන් වෙනස් කිරීමකට ලක් වන අතර ‘මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය’ ඉතිහාසයේ හමස් පෙට්ටියට ’ වැටුණේ උතුරු මැද ඇතුළු ලංකාවේ වියළි කලාපීය ජල අවශ්‍යතාව මුළුමනින්ට සපුරාලිය හැකි මෙම දැවැන්ත ව්‍යාපෘතිය තවත් එක් මුල් ගලක් බවට පත් කරමිනි.

මොරගහකන්ද පුනර්ජීවනය

පුරා වසර අටකට ආසන්න කාලයක් හුදු සිහිනයක් පමණක් වෙමින් පැවැති මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යළි දෛවෝපගත ප‍්‍රවේශයක් ගන්නේ 2015 ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම සමගනි. පසුගිය දශක කිහිපයක් පුරා කෘෂිකාර්මික සංවර්ධනය පසෙක ලා සිංගප්පූරු පන්නයේ කාර්මික හා සේවා අංශයේ සංවර්ධන උපායන් පිටපස හබාගිය යුගය වෙනුවට කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශයන්හි තිරසර සංවර්ධන ප‍්‍රවේශයක් වෙත නැඹුරු වූ යුගයක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබුණේය. එහිදී විශේෂයෙන් ගෙවී ගිය දහක කිහිපය තුළ මුළුමනින්ම නොතලා හැර තිබූ වාර් මාර්ග සංවර්ධනයට ප‍්‍රමුඛතාව ලබාදීමේ ප‍්‍රමුඛ වුවමනාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබූ හෙයින් එතුමා විසින් ජනපතිවරණය ඉදිරිපත් කළ ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වාරි සංවර්ධනය පිළිබඳ ඉතා පැහැදිලි සඳහනක් තිබුණේය.

‘වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණදීමට ච උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි ප‍්‍රතිසංස්කරණය කිරීම හා ගොඩවී ඇති වැව් වල රෙන්මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නෙමි’ (උපුටා ගැනීම – මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය. පිටුව 30, 2015 ජනපතිවරණය)

2015 ජනවාරී 08 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව යොවුන් වියේදී තමා දුටු සිහිනය අනුව යමින් ද, මහවැලි සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිටියදී තමා විසින් මහත් කැපවීමකින් යුතුව ආරම්භ කළ ‘මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතිය’ පමණක් නොව රටට බල සපයන රජරට ගොවියා වෙනුවෙන් ජාතියක් වශයෙන් ඉටුවිය යුතු යුතුකම වහාම ක‍්‍රියාවට නැඟීමට පියවර ගත්තේය.

ඒ අනුව දශක හතරකට ආසන්න කාලයක් පුරා සැලසුම්වලට, දේශපාලන නොසලකා හැරීම්වලට ලක් වෙමින් පැවැති මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු රජයේ ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා කඩිනම් කිරීමට අවස්ථාව ලැබුණේ දශක තුනකට අධික කාලයක් පුරා නොතකා හැර තිබූ රජරට වාරි කාර්මාන්තය යළි පුනර්ජීවනය කිරීම සඳහා වන ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ පියවරක් වශයෙනි.

මොරගහකන්ද ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අනුරාධපුරයයි. අනුරාධපුර රාජධානිය බිහිවීමේදී ‘මල්වතු ඔය’ ප‍්‍රමුඛ සාධකය වූවා මෙන් පුලතිසි පුරය හෙවත් පොළොන්නරුව රාජධානිය තුළ වඩාත් ප‍්‍රමුඛ වන්නේ ‘අඹන්ගඟ’ හෙවත් ‘කාර ගඟ’යි.

අඹන්ගඟ මහවැලි ගංඟාවේ ප‍්‍රධාන අතු ගංඟාව වශයෙන් සැලකේ. එය ආරම්භ වන්නේ මාතලේ ‘පාවුළු කඳුවලින් ගලා එන ජලධාරාවලිනි ( දුම්බර / නකල්ස් කඳුකරයෙනි) මෙසේ දුම්බර කඳුකරයේ සිට ගලා එන අඹන් ගඟ වස්ගමුව ජාතික උද්‍යාන මායිමේ දී දුම්බර කඳුකරයේ ‘කළුපහන’ කඳුවලින් ( තුස්හිස්ගල) ආරම්භ වන තවත් ගංඟාවක් වන ‘කලුගඟ’ හා එක්වන අතර ( අඹන් ගඟේ ප‍්‍රධාන අතු ගංඟාව වන්නේ කලුගඟයි) ඊට පසුව තවත් අතු ගංඟාවක් වන ‘කිරිඔය’ ද අඹන් ගඟ හා එක්වෙයි. මෙසේ තම ජල ධාරිතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් ගන්නා අඹන් ගඟ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේදී පිහිටි ‘තුන්මෝදර’ දී මහවැලි ගංඟාව හා එක්වෙයි.

අඹන්ගඟ හරස් කර අමුණු බැඳ එහි ජලයෙන් රජරට වැව් පෝෂණය කිරීමේ සමාරම්භක යුගය වශයෙන් සැලකෙන්නේ ක‍්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා අනුරාධපුරයේ රාජ්‍ය කළ ‘වසභ’ රජුගේ කාලය බව ඉතිහාසඥයින්ගේ අදහසයි. වසභ රජතුමා විසින් අඹන්ගංඟාවේ ජලය රජරට වැව් වෙත ගෙනයාම සඳහා ‘යෝධ ඇළ’ යනුවෙන් හැඳින්වෙන වාරි ඇළක් ඉදිකළ බව වංශකතාවල සඳහන් වෙයි. වසභ රජු විසින් ඉදිකළ යෝධ ඇළ වර්තමානයේ පවා ක‍්‍රියාකාරීව පවතින අතර පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට ජලය ගෙන යාම සඳහා එය මහෝපකාරී වෙයි.
ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ විශිෂ්ඨතම යුගයක් වශයෙන් සැලකෙන ‘මහසෙන් රජ සමයේදී’ අඹන්ගඟ හරස් කර අමුණක් බැඳ ලබාගත් ජලයෙන් මින්නේරිය වැවට ( මිනිහිරි වැව) පෝෂණය කළ බව ‘පූජාවලියේ’ සඳහන් වෙයි. වත්මන් වාරි විශේෂඥයින්ගේ අදහස වන්නේ අඹන්ගඟ හරස් කර අමුණක් බැඳ ජලය ලබාගත් ස්ථානය වන්නේ ‘අළහැර අමුණ’ බවයි.

මහා පරාක‍්‍රමබාහු රජු විසින් අඹන්ගඟ හෙවත් කාර ගංඟව හරස් කරමින් ’අගමැඩිල්ල’ අමුණ ඉදිකළ අතර එමගින් ලබාගත් ජලයෙන් ( ආකාශ ගංඟාව නම් ඇළකින්) පරාක‍්‍රම සමුද්‍රය පෝෂණය කළ බව ‘චූලවංශයේ’ සඳහන් වෙයි. මෙම ඓතිහාසික තොරතුරු අනුව සනාථ වන්නේ අඹන්ගඟ මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ ගංඟාවක් වන බවයි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය

පොළොන්නරුව රාජධානියේ බිඳ වැටීම සමඟ මෙරට වාරි ශිෂ්ටාචාරය ද බිඳ වැටුණු අතර යළි එය පුනර්ජීවනය බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසාන භාගයේ ‘ගල්ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය’ ආරම්භ කිරීම සමගය. පසුව අගමැති ඩී.එස්. සේනානායක යුගයේදී රජරට ඇතුළු වියළි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශ වල දැවැන්ත වාරි මාර්ග සංවර්ධන යෝජනා ක‍්‍රම රැසක් ආරම්භ වුවත් අඹන්ගඟ කෙරෙහි අවධානයක් යොමු නොවීය.

අඹන්ගඟ පිළිබඳ යළි විශේෂ අවධානයක් යොමු වූයේ ‘මහවැලි සංවර්ධන ව්‍යාපාරය’ ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟය. ඒ අනුව 1968 දී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ‘මහවැලි ජල සම්පත් සංවර්ධනය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදි. මෙම සැලසුම මගින් අඹන්ගඟ හරස් කොට ‘බෝවතැන්න ’ හා මොරගහකන්ද ’ යන ජලාශ ද්විත්වය ඉදිකිරීමට යෝජනා කර තිබුණේය.
මහවැලි සංවර්ධන සැලසුමට අනුව එහි මුල් අදියරේදී ‘පොල්ගොල්ල සමවාය’ (වේල්ල) සහ බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වූ අතර 1976 වසරේ ජනවාරී 08 වැනිදා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් පොල්ගොල්ල වේල්ල විවෘත කරමින් මහවැලි ජලය රජරටට හැරවීමේ මංගල පියවර තැබුවාය. එම වසරේ අගෝස්තු මාසයේදී අගමැතිනියගේ සුරතින්ම බෝවතැන්න ජලාශය විවෘත වූ අතර මහවැලි සංවර්ධන ව්‍යපාරයේ පළමු අදියර සාර්ථකව නිමාවට පත් වුණේය.

මොරගහකන්ද සිහිනය

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව තුළ අඹන්ගඟ හරස් කරමින් ඉදිකරන මොරගහකන්ද ජලාශයට ප‍්‍රමුඛ අවධානයක් ලබාදී තිබුණේය. මේ සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු වූ වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමැති මෛත‍්‍රීපාල සේනානායක මහතා විශේෂ අවධානයක් යොමු කළේය. මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ අභිප‍්‍රාය වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකොට සැතපුම් 106 ක් දිගට විහිදෙන ‘උතුරු මැද මහ ඇළ’ මගින් පදවිය ප‍්‍රදේශයට ජලය ගෙන ගොස් එම ප‍්‍රදේශයේ උග‍්‍ර ජල හිඟයට තිරසර විසඳුමක් ලබාදීමයි.

එහෙත් 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සමග මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ මොරගහකන්ද සිහිනය බිඳ වැටුණේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය වූ හෙයින් ආණ්ඩුවේ ප‍්‍රමුඛ අවධානයක් කාර්මික සංවර්ධනය කෙරෙහි යොමු විය. නිදහස් වෙළෙඳ කලාප ඇතුළු මහා පරිමාණ කාර්මික සංවර්ධනය ඉලක්ක කළ හෙයින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා මෙහිදී එජාප ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළේය.

කෘෂිකාර්මික සංවර්ධනය, විශේෂයෙන් රජරට ප‍්‍රදේශවල ජල හිඟයට තිරසර විසඳුම් ලබාදීම වෙනුවෙන් දියත් වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය’ එජාප ආණ්ඩුව විසින් පූර්ණ වෙනසකට ලක් කරමින් ‘කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය’ යනුවෙන් නම් කරමින් ඉතා කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර ගත්තේය.

එහිදී ආණ්ඩුව කෘෂි කාර්මික සංවර්ධනය වඩා කාර්මික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය විදුලි බලය සැපයීම වඩාත් වැදගත් කොට සැලකූ හෙයින් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප‍්‍රමුඛස්ථානය ජල විදුලි බලය උත්පාදනය කිරීම කෙරෙහි යොමු විය. මෙම තීරණය සමග සිදු වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සැලසුමෙන් ඉවත් කිරීමට පියවර ගැනීමයි.

මොරගහකන්ද අත්‍යවශ්‍ය බව යළි අවධාරණය වෙයි

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉවත් වුව ද මොරගහකන්ද ජලාශයේ අත්‍යව්‍යතාවය යළි අවධාරණය කරන අධ්‍යයනයක් 1979 දී යළි සිදුවිය. ඒ ‘ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ‘ජයිකා’ අනුග‍්‍රහයෙන් සිදුකරන ලද සකත්‍යතා අධ්‍යයනක් මගිනි. එම අධ්‍යයනය මගින් ද යළි තහවුරු කරනු ලැබුවේ රජරට ජල හිඟයට තිරසර විසඳුම් ලබාදීමේ එකම විසඳුම වන්නේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම බවයි. යළිත් දශකයකට පසුව, එනම් 1989 දී මෙම සක්‍යතා අධ්‍යයන වාර්තාව යළි යාවත්කාලීන කරනු ලැබුව ද මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට ආණ්ඩුව කිසිදු ආකාරක පියවරක් නොගත්තේය.

මෛත‍්‍රී සිහිනය

රජරට පුරයෙන් බිහිවූ ජේෂ්ඨතම දේශපාලනඥයෙකු වූ මෛත‍්‍රීපාල සේනානායක මැතිඳුන් 1970 දශකයේ දුටු මොරගහකන්ද ජලාශය පිළිබඳ සහිනය යළි අවධි කිරීමට රජරටින් බිහි වූ විශිෂ්ඨතම දේශපාලනඥයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගැනීම සැලකිය හැක්කේ දේශපාලන ආශ්චර්යයක් වශයෙනි. නැතහොත් දෛවෝපගත සිදුවීමක් වශයෙනි.
1998 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා වශයෙන් පත්වීම සමග මෛත‍්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි සක්‍යතා අධ්‍යයන් කිරීමට වහාම පියවර ගන්නා ලදි. ජර්මනියේ ‘ලාමයාර් අන්තර් ජාතික උපදේශන සමාගම හා ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය විසින් 2000- 2004 වසරවලදී සිදුකළ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයන අනුව 2007 වසරේදී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි.

මොරගහකන්ද ජලාශය ගැන

සියවස් ගණනක් පුරා රජරට ගොවිබිම් සරුසාර කිරීමට තම දියවර ලබාදුන් අඹන්ගඟ යළිත් සියවස් ගණනාවකට පසුව එකී මෙහෙවරේ ස්වර්ණමය යුගයට ප‍්‍රවේශවීම සිදුවූයේ 2007 වසරේ ජනවාරී 25 වැනි දින මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීම සමගිනි. එවකට කෘෂිකර්ම, වාර් මාර්ග, පරිසර හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි අධිෂ්ඨානය හා කැපකිරීම මගින් යථාර්ථයක් බවට ‘මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය’ පත් වූවේය.

වේලේ දිග සහ උස

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුවන්නේ ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මගිනි. මොරගහකන්ද ජලාශයේ ප‍්‍රධාන වේල්ල වන මෙය ගල් පිරිවීම මගින් ඉදිකරනු ලබන අතර එය දිගින් මීටර් 470 ක් ද උසින් මීටර් 61.3 ක් ද මුහුණට මීටර් 08 ක පළලකින් ද යුක්ත වේ.

මෙම ප‍්‍රධාන වේල්ලට අමතරව තවත් සැදලි වේලි දෙකක් ඉදිකිරීමට පියවර ගන්නා අතර මෙම වේලි ද්විත්වයේ කොන්ක‍්‍රීට් මගින් ඉදිකරන අංක 01 වේල්ලේ දිග මීටර් 375 ක් ද උස මීටර් 58 ක් ද වන අතර මුදුනත පළල මීටර් 08 ක් වශයෙන් සැලකේ. පස් පිරවීම මගින් ඉදිවන අංක 02 වේල්ලේ දිග මීටර් 275 ක් ද උස මීටර් 21.5 ක් ද වන අතර එහි මුදුනත පළල මීටර් 07 කි.

ජලධාරිතාව

මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5 ක් පුරා පැතිරෙනු ඇති අතර ජලාශයේ පූර්ණ ජලධාරිතාවය ඝන මීටර් දශලක්ෂ 569.9 ක් ( අක්කර අඩි 463,000 ක් ) වන අතර සක‍්‍රීය ජලධාරිතාවය අක්කර අඩි 423,000 කි.
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 33, 872. 6 ක් වශයෙන් ඇස්තමේන්තු කොට ඇත. එයින් සියයට 85 ක් හෙවත් රුපියල් මිලියන 28,952.1 ක් චීන සංවර්ධන බැංකුව විසින් ද සියයට 15 ක් හෙවත් රුපියල් මිලියන 4920.5 ක් දේශීය අරමුදල් මගින් ද ආයෝජනය කිරීමට පියවර ගෙන ඇත.

කලූගඟ ජලාශය

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ ‘ද්විත්ව ජලාශ ව්‍යාපෘතියක්’ වශයෙනි. ඒ මොරගහකන්ද ජලාශයට සමගාමීව කලූගඟ ජලාශය ද ඉදිකිරීම සිදුවන හෙයිනි.

මොරගහකන්ද ජලාශයේ සමාගාමී ජලාශය වන්නේ කලූගඟ ජලාශයයි. මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 40 ක් පමණ ඈතින් කලූගඟ හරහා ‘පල්ලේගම’ නමින් හැඳින්වෙන ප‍්‍රදේශයට කිලෝමීටර් 04 ක් පමණ උතුරු දෙසින් ප‍්‍රධාන වේල්ලක් හා අතුරු වේලි දෙකක් ඉදිකිරීම මගින් කලූගඟ ජලාශය නිර්මාණය කෙරේ.

කලූගඟ ජලාශයේ ප‍්‍රධාන වේල්ල ගල් පිරවීම මගින් ඉදිකරනු ලබන අතර එය දිගින් මීටර් 546 ක් ද උසින් මීටර් 67 ක් ද මුදුනත පළල මීටර් 08 ක් ද වේ. සැදලි වේලි අංක 01 දිගින් මීටර් 238 ක් ද උසින් මීටර් 47 ක් වන අතර අංක 02 සැලදි වේල්ල දිගින් මීටර් 65 කි.

කලූගඟ ජලාශය වර්ග කිලෝමීටර් 84 ක ප‍්‍රදේශයක් පුරා පැතිරෙන අතර ජලාශයේ ධාරිතාවය අක්කර අඩි 216,000 ක් වන අතර සක‍්‍රීය ධාරිතාවය අක්කර අඩි 170,000 ක් වශයෙන් සැලකේ.

කලූගඟ ජලාශයේ ප‍්‍රධාන වේලි ඉදිකිරීම සඳහා කුවේට් සංවර්ධන අරමුදල විසින් රුපියල් මිලියන 48883. 03 ක් ද සෞදි සංවර්ධන අරමුදල විසින් රුපියල් මිලියන 6779.94 ක් ද ඔපෙක් ජාත්‍යන්තර අරමුදල විසින් රුපියල් මිලියන 2358.24 ක් ද ලබාදී ඇති අතර දේශීය අරමුදල් වලින් රුපියල් මිලියන 2434.28 ක් ලබා ගැනීමට නියමිතය.

මොරගහකන්ද – කලුගඟ සම්බන්ධ කිරීම

මොරගහකන්ද – කලූගඟ ජලාශයන් ඒකාබද්ධව ක‍්‍රියාත්මක වන හෙයින් එහි ඒකාබද්ධ ජලධාරිතාවය අක්කර අඩි 660,000 ක් වශයෙන් සැලකේ. වාරි විශේෂඥයින්ට අනුව මෙම ජලාශ ද්විත්වයේ ජල ධාරිතාවය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය මෙන් 06 ගුණයකින් විශාල වේ.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ මගින් ඉහළ ඇළහැර ව්‍යාපෘති ඇළ මහකනදරාව දක්වා කිලෝමඨාර් 94 ක ඇළ මාර්ගයක් ඉදිකරනු ලබන අතර, එයින් කිලෝමීටර් 26 ක් උමං මාර්ග සහිතව සැලසුම් කර ඇත.

මීට සමගාමීව ඉදිකරනු ලබන වයඹ සංවර්ධන ඇළ කිලෝමීටර් 93 ක් ද වන අතර කලූගඟ සිට මොරගහකන්ද දක්වා ඇළ මාර්ගය දිගින් කිලෝමීටර් 09 ක් වේ. එයින් කිලෝමීටර් 7.85 ක් උමං සහිතව ඉදිකිරීමට පියවර ගෙන ඇත.

පෝෂණය වන වැව් හා දියවර සැපයෙන දිස්ත‍්‍රික්ක

මොරගහකන්ද – කලුගඟ ජලාශය ලංකාවේ සුවිශාලම වාරි සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් සැලකෙන්නේ මගින් දියවර ලබන ප‍්‍රදේශ හා වැව් සංඛ්‍යාව අනුවය. ඒ අනුව මොරගහකන්ද – කලූගඟ ජලාශයට සම්බන්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 1200 ක් ද වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 303 ක් ද ලග්ගල සංවර්ධන ප‍්‍රදේශ යටතේ වැව් 13 ක් ද පෝෂණය වන බව ගණන් බලා ඇත.
මොරගහකන්ද – කලූගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 ක් ප‍්‍රතිලාභ ලැබීම ද සුවිශේෂ කොට සැලකිය හැකිය. මෙම ජලයෙන් ප‍්‍රතිලාභ ලබන දිස්ත‍්‍රික්ක වශයෙන්, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත‍්‍රික්ක හඳුනාගෙන ඇත.
මෙම දිස්ත‍්‍රික්කයන්හි කෘෂිකාර්මික කටයුතු සඳහා වසර පුරා ජලය සැපයීම මෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ ප‍්‍රදේශ වශයෙන් ද සැලකෙන මෙම කලාපයට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවීම ද තවත් සුවිශේෂ මෙහෙවරක් වශයෙන් සැලකිය හැකිය.

මොරගහකන්ද – කලුගඟ ව්‍යපෘතියේ සංවර්ධන ප‍්‍රතිලාභ

රජරට ඇතුළු ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 කට වසර පුරා අඛණ්ඩව වාරි ජලය ලබාදීමේ අරමුණින් දියත් වන මොරගහකන්ද – කලූගඟ ජලාශ ව්‍යාපෘතිය සැලකිය හැක්කේ කෘෂිකාර්මික සංවර්ධනයට අමතරව තවත් අංශ කිහිපයක ඍජු සංවර්ධන ප‍්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙනි.

මෙහි ඍජු ප‍්‍රතිලාභ කෘෂිකාර්මික සංවර්ධනය වෙතින් ලැබෙන බව ඉතා පැහැදිලිය. ඒ අනුව රජරට කලාපයේ හෙක්ටයාර් 82,000 ක් සඳහා යලමහ දෙකන්නයේදීම වාරි ජල පහසුකම් සැපීමට ඇති හැකියාව ප‍්‍රධාන වේ. විශේෂඥයින් විසින් ගණන් බලා ඇති ආකාරයට මෙම ප‍්‍රදේශයන්හි ‘වගා තීව‍්‍රතාවයේ සාමාන්‍ය අගය වන සියයට 100 සිට සියයට 154 දක්වා වන සාමාන්‍ය අගය සියයට 181 දක්වා ඉහළ නැංවීමට අවස්ථාව උදාවේ. මෙහි ඍජු ප‍්‍රතිලාභයක් ලෙස හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ඉහළ යාමයක් සිදුවේ.

මීට අමතරව මෙම ප‍්‍රදේශවල අතිරේක කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළයාමක් සිදුවනු ඇති අතර මෙමගින් වාර්ෂිකව රුපියල් මිලියන 4000 ක පමණ ආර්ථික ප‍්‍රතිලාභ හිමිවනු ඇතැයි ගණන් බලා ඇත.

මිරිදිය නිෂ්පාදන

අක්කර අඩි 660,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරෙන මොරගහකන්ද – කලූගඟ ජලාශ මගින් මිරිදිය ධීවර කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් ලබාගත හැකිය. මේ වන විට ගණන් බලා ඇති පරිදි වාර්ෂිකව ටොන් 3000 ක් පමණ වන මිරිදිය ධීවර අස්වැන්නක් බලාපොරොත්තු වන අතර එහි අගය රුපියල් මිලියන 225 ක් වශයෙන් සැලකේ.

විදුලිබල උත්පාදනය

ශ‍්‍රී ලංකාව මේ වන විට ජල විදුලිය නිෂ්පාදනයේ උපරිමය සනිටුහන් කොට ඇත. එහෙත් මොරගහකන්ද කලූගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් ටර්බයින් 04 ක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25 ක ජල විදුලි බලයක් එක් කිරීමට නියමිතය. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව ගණන් බලා ඇත.

සංචාරක ව්‍යාපාරය

මොරගහකන්ද – කලුගඟ ජලාශ ව්‍යාපෘතිය සමඟ එම පළාත්වල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මෙම ප‍්‍රදේශවලට අයත්, වස්ගමුව ජාතික උද්‍යානය, ගිරිතලේ – මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිත රිවස්ටන්, පිටවල පතන හා සේර ඇල්ල වැනි සංචාරක කලාප ද දඹුල්ල පන්සල, දඹුල්ල අන්තර් ජාතික ක‍්‍රීඩාංගනය, කණ්ඩලම සංචාරක හෝටලය ද අන්තර්ගත වන කලාපය මධ්‍යයේ මොරගහකන්ද – කලූගඟ ජලාශය පිහිටුවීම සමග මෙම ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් අපේක්ෂා කළ හැකිය.

මැදිරිගිරිය සංවර්ධනය

මොරගහකන්ද – කලුගඟ ජලාශ සංවර්ධන ව්‍යාපාරයේ සුවිශේෂ ප‍්‍රතිලාභ ලබන ප‍්‍රදේශයක් වශයෙන් මැදිරිගිරිය සැලකිය හැකිය. මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගේදොර ඉඩකඩම් පරිත්‍යාග කළ ජනතාව වෙනුවෙන් මැදිරිගිරිය බිසෝපුර ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ පහසුකම් සහිත නව නගරයක් ඉදිකිරීම මෙහිදී සුවිශේෂ වේ.

ඒ අනුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ අලූතින් ගොවි පවුල් 3240 ක් පදිංචි කිරීමට නියමිත අතර ඔවුන් සඳහා ගෙවතු ඉඩම් 3240 ක් ලබාදීමට පියවර ගෙන ඇත. මේ සමග පළමු අදියර යටතේ හෙක්ටයාර් 2000 කට දියවර පහසුකම් ද, හිමිවන අතර ප‍්‍රදේශයේ වැව් 31 ක් පිළිසකර කිරීමට ද පියවර ගෙන ඇත.
මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඇළ මාර්ග කිලෝමීටර් 16. 5 ක් ද සෙසු ඇළ මාර්ග කිලෝමීටර් 59 ක් ද සංවර්ධනය කරන අතර නාගරික සේවා දියුණු කිරීම, මැදිරිගිරිය – කන්තලේ මහා මාර්ගයේ කිලෝ මීටර් 23 ක් සංවර්ධනය කිරීම හා අක්කර 100 කර්මාන්ත පුරයක් ඉදිකිරීමට නියමිතය.
මේ අනුව මොරගහකන්ද – කලූගඟ ජලාශ ව්‍යාපෘතිය සමග මැදිරිගිරිය බිසෝපුර ප‍්‍රදේශය පුළුල් සංවර්ධනයකට ලක්වනු ඇත.

පරිසර කළමනාකරණ සැලසුම්

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින ප‍්‍රබල චෝදනාවක් වන්නේ එමගින් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නොකරන බවයි. විශේෂයෙන් පසුගිය කාලයේ සිදුවූ බොහොමයක් සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල විය.
මොරගහකන්ද – කලූගඟ ජලාශ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ පාරිසරික වශයෙන් අතිසංවේදී දුම්බර කඳුකරයේ හෙයින් එයින් වන පරිසර හානිය අවම කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විශේෂ උනන්දුවක් දැක්වූවේය.ජනපතිතුමාගේ මෙම විශේෂ උනන්දුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් මොරගහකන්ද – කලූගඟ පරිසර කළමනාකරණ සැලසුම දියත්විය.

මෙහිදී මොරගහකන්ද ජලාධාර ප‍්‍රදේශයන්හි ගංඟා, ඇළදොළ රක්ෂිතයන්හි හෙක්ටයාර් 1365 ක නැවත වන වගා කිරීමට පියවර ගෙන ඇති අතර මොරගහකන්ද ජලාශය වටා මීටර් 100 ක රක්ෂිත ප‍්‍රදේශයක් වෙන් කිරීම හා හෙක්ටයාර් 650 ක නැවත වන වගා කිරීම සිදු කෙරේ. මීට අතිරේකව මින්නේරිය – ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, අලිමංකඩ දෙපස විදුලි වැටවල් පිහිටුවීම, අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කරවීම, මින්නේරිය – ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සත්ව වාසභූමී වැඩි දියුණු කිරීම යටතේ අත්හැර දමන ලද වැව් 04 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම, ආක‍්‍රමණශීලී පැළෑටි ඉවත් කර අලූතින් ශාක හා තෘණ වගා කිරීමට පියවර ගැනීම වැනි වැඩසටහන් දියත් කොට ඇත.

පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය

මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය වෙනුවෙන් ව්‍යාපෘතිය රුපියල් මිලියව 4. 6 ක් වෙන් කිරීම ද විශේෂ අවධානයට ගත යුතුය.

මොරගහකන්ද ජලමට්ටම පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යයි

පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි. අක්කරඅඩි 110 000ක් වන පරාක‍්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115 000 තරම් ජල ප‍්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා කියයි. ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ යටිතල පහසුකම් මේ වන විට සපුරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි. පාසැල්, ප‍්‍රදේශිය ලේකම් කාර්යාල, රෝහල් මෙන්ම මාර්ග පද්ධති ද පහසුකම් යටතේ ජනතාවට ලබාදි ඇති බව ද ඒ මහතා පවසයි.මිලියන 6000 ක් වු දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් මේ වන විට වන්දි ලෙස ජනතාවට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

රජරට ජනතාවගේ සිහිනයක් මල් ඵල ගන්වමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සදහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම පසුගිය 2 වෙනිදා දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණි.
අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සදහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමා ද දිගු කලක සිට දුටූ සිහිනයක් බවයි. එම සිහිනය මල් ඵල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දින උදාවන තුරු තමා බලා සිටී බව ද ජනාධිපතිතුමා පැවසීය.

නකල්ස් කදු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.

අද සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.

ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.

මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

image description

image description

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top