Science

හිමාලය ජය ගන්න යන විරුවෝ නුඹයි ලක්මවගෙ සරසවි දරුවෝ

‘මම කවදාහරි හිමාල කන්ද නඟිනවා. මම කොහොමහරි ඒක කරනවා. මට ඒක බැරි වෙන්නේ නැහැ’ ධවල පැහැ හිමෙන් පිරි හිමාලයේ ඡායාරූප දකිනා සෑම මොහොතකම සිතට දිරිගත් ඔමේෂා තම සිහිනය සැබෑවේවායි ප්‍රාර්ථනා කළාය. කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට උපන් හපන්කම් පෙන්වූ ඔමේෂා අභියෝග ඇත්තේ දිනන්නටම බව විශ්වාස කළාය. ඇගේ මවුපියෝ හා සහෝදරයෝ ඔමේෂාගේ ධෛර්ය සම්පන්න ගතිගුණ ඇගයීමට ලක් කරමින් ඇගේ ජීවන ගමනට ඇවැසි අත්වැල සැපයූහ.

මොරටුව බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔමේෂා ජයමිණි මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූවාය. කුඩා කල සිට ඇගේ සිතෙහි තිබූ සිහිනය පල දරන්නට ඇවැසි මාර්ගය විවරවන්නේ ඒ සරසවි බිම තුළදීය.

ඇය තමන්ගේ දක්‍ෂතා පෙන්වමින් අධ්‍යාපන කටයුතුවල නිරත වූවාය. ගහට වැලට, සතා සීපාවාට දැඩි සේ ළෙන්ගතු වූ ඇය ඉඩක් ලද සෑම අවස්ථාවකදීම මිතුරු මිතුරියන් සමඟ කඳු තරණය කරන්නට, දිය ඇලි බලන්නට එක් වූවාය. සොබා දහමට ඇති ආදරය නිසාම ඇය මේ වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂණ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තාය.

තෙවැනි වසර ශිෂ්‍යාවක් වූ ඔමේෂා එම සංගමයට එක්වීමට ලැබීම භාග්‍යයක් සේ සැලකුවාය. ඊට පෙරත් එම සංගමය සමඟ එක්වී බාහිර ක්‍රියාකාරකම්වලදී ලත් අත්දැකීම් අනුව ඇය එම සංගමය තුළින් සිදුවන කාර්යභාරය හොඳින් හඳුනාගෙන සිටියාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මීට පෙර 12 වතාවක් හිමාලය තරණය කිරීමේ කටයුත්තෙහි නිරත වී තිබිණි. එනිසාම ඔමේෂාගේ හිමාලය තරණය කිරීමේ සිහිනය බොහෝ ඉක්මනට සැබෑ කරගන්නට හැකි වෙන බව ඇය දැන සිටියාය.

ඇගේ සිහිනය සැබෑ කරමින් සංගමය විසින් ඇයව හිමාලය තරණය කිරීමේ කණ්ඩායමට තෝරා ගත්තේය. මුලින් කණ්ඩායමට ‍ෙදාළොස් දෙනකු ඇතුළත් වුවත් පසුව ඔවුන් අතරින් කිහිප දෙනෙක් තම අපහසුතා පවසමින් එම කණ්ඩායමෙන් ඉවත්වූහ. බොහෝ දෙනකු ඉන් ඉවත් වූවේ අධ්‍යාපන කටයුතු මඟහැරෙන නිසාය. එහෙත් ඔමේෂා තම තීරණය වෙනස් කළේ නැත.

අවසානයේ හිමාලය තරණය කිරීමට පේරාදෙණිය සරසවියෙන් ශිෂ්‍යයන් හතර දෙනෙක් ඉදිරිපත් වූහ. ඔමේෂා ජයමිණි ඇතුළුව නිමේෂ් දිලාන් (ඉන්ජිනේරු පීඨය), සකුන් කල්හාර (ඉන්ජිනේරු පීඨය), ප්‍රණාම මතඟවීර (ඉන්ජිනේරු පීඨය) නම් සිසුන් සිවුදෙනා එම කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. ඔවුන් සිවුදෙනාම හිමාලය තරණය කරන කෝඩුකාරයන්ය.

සිසුන් තිදෙනකු සමඟ කරට කර හිමාලය තරණය කරන්නට යන එකම සිසුවිය ඔමේෂාය. ඇගේ සිහිනය සැබෑ කරන්නට සේම හිමාලය තරණය කරන ළාබාලතම ශ්‍රී ලාංකික කාන්තාව වන්නටද ඇය වාසනාව ලැබුවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂණ සංගමයේ සභාපති ෂෙහාන් නානායක්කාර පැවැසුවේ ඔමේෂා ජයමිණි ගිනස් වාර්තා පොතටද ඉදිරියේදී ඇතුළත් වනු ඇති බවයි.

23 හැවිරිදි ඔමේෂා ජයමිණිගේ පියා මොරටුව සරසවියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙකි. ඇගේ මව ආදරණීය ගෘහණියකි. ඔමේෂාට වැඩිමල් සොයුරියක් හා බාල නැඟණියක් සිටින්නීය. ඔවුන්ගේ ආදරය හා ආශීර්වාදය ඔමේෂාට සැබෑ ශක්තියකි.

‘ඔයාට පුළුවන්, ඔයා යන්න’ කියමින් දිරිදෙන ඇගේ පාසල් හා විශ්වවිද්‍යාලයේ මිතුරු පිරිසද ඇයට මහත් පිටිවහලකි.

ඒ සියලු දෙනාගේම ආදරය හා ආශීර්වාදය මධ්‍යයේ ඔමේෂා ඇතුළු පිරිස මේ වන විට සිටින්නේ සීතල හිමාල අඩවියේය. පසුගිය 25 වැනිදා ඔවුන් එම අභියෝගය, අභියෝගයට ලක් කරමින් දැඩි දේශගුණික විපර්යාස මධ්‍යයේ හිමාලයට පියවර තැබූහ. ඔවුන් සිටින ප්‍රදේශයට ළඟා වීමට අපහසු වූවා මෙන්ම එහිදී දුරකතන සබඳතා ද ගිලිහී ගියේ ලංකාව සමඟ සන්නිවේදනය කිරීමට තිබූ එකම මඟද වළකාලමිනි.

මීටර් 6,189ක උසකින් යුතු හිමාල කඳුවැටියේ පිහිටි අයිලන්ඩ් පීක් කඳුමුදුනට ළඟාවීමෙන් අනතුරුව ඔවුන් ජයගැනීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අභියෝගාත්මක දුෂ්කර කර්තව්‍යයකට අතගැසූ ඔමේෂා ඇතුළු පිරිසට එය ජයගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව සේ සැලකෙන ජයන්ති කුරුඋතුම්පාල මුණගැසුණු ඔමේෂා හිමාලය තරණයට පෙර ඇගෙන් ගුරුහරුකම් ලබා ගන්නට තරම් නිහතමානී වූවාය. නේපාලයට ගොස් එහි සිටින ශ්‍රී ලංකා තානාපතිනිය ස්වර්ණලතා පෙරේරා මහත්මියගෙන්ද ඇය ආශීර්වාදය ලබා ගත්තාය.
ඔමේෂා හිමාලය තරණය කිරීමට පෙර අප සමඟ මෙසේ පැවැසුවාය. ‘මම පුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩාවට දක්‍ෂයි. ක්‍රීඩාවෙන් ලබපු කායික පුහුණුව හා මානසික හික්මීම හැමදාම මට අභියෝග ජයගන්න උදව් වුණා. මම කොහොමත් කඳු නඟින්න දිය ඇලිවල නඟින්න ආසයි. ගහට කොළට ආදරෙයි. ඒ නිසාම මට හීනයක් වෙලා තිබුණා හිමාලය නඟින්න. ගවේෂණ සංගමයට සම්බන්ධ වුණු ගමන්ම මට ඒ අවස්ථාව ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.

සරසවියේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වගේම මට හැමදාමත් ශක්තිය, ධෛර්ය දෙන ගෙදර අය, මගේ යාළුවෝ විශේෂයෙන් මතක් කරන්න ඕනා. මේ අයගේ උපකාර නැත්නම් කවදාවත් මට මේ තැනට යන්න ලැබෙන්නේ නැහැ. අපේ කණ්ඩායම කොහොම හරි මේ අභියෝගය ජය අරගෙනයි ලංකාවට එන්නේ. මම ඒක ලොකු ආත්ම විශ්වාසෙකින් කියනවා.

ඔමේෂාගේ සිහිනය හෙට දිනයේ සැබෑ වනු නොඅනුමානය. එවරස්ට් තරණය කළ ළාබාලතම කාන්තාව වශයෙන් ඇය ගෞරවාදරයට පත්වනු ඇත. සොබා දහමට ආදරය කළ ඇයට සොබා දහමේ ආදරය සහ ආශීර්වාදය පෙරළා ලැබෙනු ඇති බවට අපිදු විශ්වාස කරන්නෙමු.

අරුණි මල්ලවආරච්චි
මහනුවර – කමල් සුරවීර
www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top