Local

88-89 භීෂණ යුගය, මෑත දේශපාලන න්‍යායපත්‍ර සාක්ෂාත් කරගැනීමට පාසල් ළමුන් යොදා ගැනීම?

පසුගිය දා සයිටම් ආයතනයට විරෝධය පළ කරනු පිණිස ළාබාල පාසල් සිසු සිසුවියන් පිරිසක් පාසල් නිල ඇඳුම් සහිතව පාගමනකට යොදා ගැනීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වූ අතර එම සිදුවීම අවම වශයෙන් 88-89 යුගයන්හි, තේරෙන වයසක සිටි ඕනෑම අයකුට එකල්හි පැවති භීෂණ යුගයක පෙරනිමිති පහල නොවූයේ යැයි සිතීම අපහසුය.

88-89 වකවානුවේ මරණයේ දේශය ලෙස අප මාතෘභූමිය හැදින්වීමට නොයෙකුත් කරුණු කාරණා සහ පාර්ශවයන් වගකිවයුතුය. විජේවීර සහ පෙරටුගාමීන් එම අවාසනාවන්ත යුගයේ මුලාරම්භයට හිමිකාරිත්වය දැරිය යුතුය. විප්ලව කිරීමට, කැරලි ගැසීමට ලොකු ලොකු කතා පැවැත්තුවද මාක්ස්වාදය ගැන අංශු මාත්‍රයක් වත් නොදන්නා විජේවීරලාගේ ගොදුරු බවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පත්විය. උසස් පෙළ සාර්ථකව අවසන් කර පුළුල් විශ්වීය වපසරියකට මනස විවෘත කරමින් සරසවිබිමට පා තැබූ තරුණ තරුණියන් සිත් ආපසු හැරවිය නොහැකි ලෙස විකෘතිකරණයකට ලක් කිරීමට ඔවුන් එකල්හි සමත් විය. එම ඇතිකළා යැයි කියන සැබෑව සහ මිත්‍යාව අතර වෙනසක්වත් නොහැගෙන උප සංස්කෘතීන් වල අඳුරු ශේෂයන් තවමත් සිප්සතර හදාරන බිම් වල මුල් විකාගෙන සිටී. එම මුල්වල අරක් ගෙන සිටිනවුන් සාමජවාදයන් ගැන අති සදාචාරාත්මක වටිනාකම් ගැන පසු-ආකල්පීය කතා ගොතමින්, වපුරමින් වැලේ වැල් නැතුව පහල ස්ථරවල සිටින අන්ධ භාක්තිකයන්ව නිරන්තර රැවටීමකට ලක් කරන අයුරු අදටත් අපට පෙනේ.

“සයිටම්”; මෑත ඉතිහාසයේ එකී නොකී සියලු සමාජ ස්ථරවල, විවිධ වෘත්තිය කාණ්ඩ වල සියලු අතු ලේ නහර ජාන සිසාරා ගමන් කල ‘උග්‍ර’ ගැටළුවක් විය. එයින් බහුතරයක් ‘සයිටම් අර්බුධය’ කුමක් දැයි වත් නොඅඳුරති. ඕනෑම ප්‍රශ්නයක මුලය, වටපිටාව තේරුම් නොගනිමින් රැල්ලට කෑ ගැසීම නූගත් සමාජ ලක්ෂණයක් බව සාධාරණ න්‍යායකින් බලන්නෙකුට පෙනී යයි. එම ඔහේ කෑ ගැසූ ක්ෂේත්‍ර අතර බස්රථ රියදුරන්, දුම්රිය රියදුරන් සහ නිලධාරීන් සිටීම විටෙක හාස්‍ය දනවන කාරණාවක් වෙයි. නමුත් මෙය බරපතල කාරණයක් වන්නේ ඔවුන්ව කුලප්පු කරනු ලබන්නේ JVP කාරයන් සහ පෙරටුගාමී බලවේග බැවිනි. ඔවුන් සතුව ඇත්තේ නියම මාක්ස්වාදයවත් වෙනත් යහපත් සාධාරණීය සමාජවාදී සංකල්පයන් වත් නොවන අතර ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ පා සටහනේ ඇත්තේ රට කරන ආණ්ඩුව වැට්ටවීම බව දැන් සාධාරණ පුරවැසියාට වැටහී හමාරය. සියලු ජනතාවගේ විවිධ කේෂ්ත්‍රයන් කුලප්පු කර අසාර්ථක වූ කල අහිංසක කුඩා පාසල් ළමුන් යොදා උද්ඝෝෂණ පාගමන් පැවැත්වීමට තරම් ඔවුන් පහත් අසික්කිත තත්ත්වයකට පත්වීම අතිශයින් නින්දා සහගතය.

මේ වූ කලී විෂයභාර අමාත්‍යවරයා පමණක් නොව රාජ්‍ය නායකයා පවා අවධානය කල යුතු බරපතල තත්වයකි. සයිටම් අර්බුධ තියා නිව්ටන්ගේ නියම තුනවත් නොදන්නා අහිංසක පුංචි මල් කැකුළු, 88-89 භීෂණයේ ලේ තැවරුණු සිත් ඇති නව පරම්පරාවේ ගොදුරු බවට පත්වී අන්ධ අනුගාමිකයන් බිහිකරන මේ ම්ලේච්ඡ ක්‍රියාවන් කිසිලෙසකවත් සිදුකිරීමට ඉඩක් ලබා නොදිය යුතුය යන්න මගේ හැගීමය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top